වත්මන් කොටස: model:
පාඩම දේව දූතවරුන් පිළිබඳ විශ්වාස කිරීම.
දේව දූතවරුන් පිළිබඳ විශ්වාස කිරීම යනු කුමක් ද?
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට කිසිවක් ආදේශ නො කොට, උන්වහන්සේ ව පමණක් නමදින මෙන් මිනිසුන්ට ඇරයුම් කිරීම පිණිස, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් විසින් සෑම ජන සමාජයකට ම ඔවුන් අතුරින් ම දේව දූතවරයෙකු යැවූ බවට තරයේ විශ්වාස කිරීම වේ. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති. “නියත වශයෙන් ම අපි සෑම සමාජයකට ම ‘ෂෙයිතාන්වරුන්ගෙන් වැළකී, උත්තරීතර අල්ලාහ් ව පමණක් නමදින්න’යැයි (ඔවුනට මඟ පෙන්වන) දේව දූතවරයෙක් යැව්වෙමු.” (සූරා අන්නහ්ල් - 36)
සියලු ම දේව දූතවරුන් සත්‍යවන්තයින්, සැදැහැවතුන්, විශ්වාසවන්තයින් හා යහමඟ ගිය උදවිය බව ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් විසින් තමන්ට පහළ කළා වූ දේව පණිවිඩය, කිසිදු සැඟවීමක් හෝ වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් නො කොට, ඒ අයුරින් ම ජනයාට දැනුම් දුන් බව ද අපි විශ්වාස කළ යුතු ය.
සත්‍ය හා නිවැරදි දෑ වෙත මඟ පෙන්වීම සඳහාත් තම දෛනික දිවිය තුළ අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ පැහැදිලි කර දීම සඳහාත් මිනිසාට දේව පණිවිඩ අත්‍යාවශ්‍ය ය. දේව පණිවිඩ යනු ලෝකයේ ප්‍රාණය, ආලෝකය හා පැවැත්ම යි. එනිසා, ඒවායින් තොර ව ලෝකයට අත් වන සෙත කුමක් ද?
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් තම දේව පණිවිඩය “ප්‍රාණය” යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙනිසා ය. ප්‍රාණය නොමැති වූ විට ජීවිතය ද අහිමි වේ. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති. “මෙලෙස අපගේ අණපනත්හි ප්‍රාණය (වන උතුම් අල් කුර්ආනය) අපි ඔබට හෙළිදරව් කළෙමු. (ඊට පෙර) ධර්ම පුස්තකය (උතුම් අල් කුර්ආනය) හා ඊමානය (විශ්වාසය) යනු කුමක් දැයි ඔබ දැන නො සිටියෙහි ය. නමුත් අපගේ ගැත්තන් අතුරින් අපි කැමති උදවියට එය (උතුම් අල් කුර්ආනය) ආලෝකයක් බවට පත් කොට, එමඟින් (ඔවුනට) යහමඟ පෙන්වන්නෙමු.” (සූරා අෂ්ෂූව්රා - 52). මිනිස් බුද්ධියට යහපත හා අයහපත පොදුවේ වෙන් කොට හඳනාගත හැකි වුව ද, ඒ පිළිබඳ විස්තරාත්මක හා පරිපූර්ණ අවබෝධයක් ලබා ගත නො හැකි ය. නිසියාකාර ව නැමදුම් කටයුතු ඉටු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ වහී (දේව හෙළිදරව්) හා දේව පණිවිඩ මඟින් හැර අන් කිසිදු ක්‍රමයකින් දැන ගත නො හැකි ය.
මෙලොව හා පරලොව සතුට හා ජයග්‍රහණය ළඟා කර ගත හැක්කේ රසූල්වරුන් හෙවත් දේව දූතයින් මඟින් පමණි. ඔවුන්ගෙන් හැර අන් කිසිවෙකුගෙන් යහපත හා අයහපත පිළිබඳ සවිස්තරාත්මක ව දැන ගත නො හැකි ය. එනිසා, කවරෙකු කෙතරම් දුරට දේව පණිවිඩය ප්‍රතික්ෂේප කරන්නේ ද එතරම් දුරට ඔහුට තම ජීවිතයේ දුක් කරදර, අපහසුතා හා ගැටලුවලට මුහුණ පෑමට සිදු වනු ඇත. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “ඔබලා සියල්ලන් ම මෙයින් බැස යනු. නියත වශයෙන් ම මගෙන් (මගේ දූතයන් මගින්) ඔබට ඍජු මාර්ගය පැමිණෙනු ඇත. (ඔබලා අතුරින්) කවුරුන් මගේ (එම) ඍජු මාර්ගය අනුගමනය කරන්නේ ද, ඔවුනට කිසිදු බියක් නොමැත; ඔවුන් දුක් වන්නේ ද නැතැ’යි අපි පැවසුවෙමු. කවුරුන් (ඍජු මාර්ගය) ප්‍රතික්ෂේප කර, අපගේ බොරු කරන්නේ ද, නියත වශයෙන් ම ඔවුහු නිරාවාසීහූ ම වෙති. තව ද, ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත.” (සූරා අල් බකරා - 38,39)
දේව දූතයන් පිළිබඳ විශ්වාස කිරීම අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ කුළුණු හා මූලිකාංගවලින් එකකි.
දේව දූතයන් පිළිබඳ විශ්වාස කිරීම අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ කුළුණු හා මූලිකාංගවලින් එකකි.මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ. “(අපගේ) රසූල්වරයා (දුතයා) තම පරමාධිපතියාණන් වෙතින් පහළ කරන ලද දෑ (ධර්මය) විශ්වාස කරයි. (එමෙන් ම,) විශ්වාසවන්තයෝ ද එලෙස විශ්වාස කරති. ඔවුහු සියල්ලෝ ම ‘අප උන්වහන්සේගේ රසූල්වරුන් අතර කිසිදු වෙනස්කමක් නො කරන්නෙමු’ යැයි පවසමින් අල්ලාහ් ව ද, උන්වහන්සේගේ මලාඉකාවරුන් ව ද, ධර්ම ග්‍රන්ථ ද, රසූල්වරුන් ව ද විශ්වාස කරති.” (සූරා අල් බකරා - 285). මෙම කුර්ආන් වැකිය මඟින් කිසිදු වෙනසකින් තොර ව සියලු ම දේව දූතවරුන් පිළිබඳ විශ්වාස කිරීම අනිවාර්ය බව පැහැදිලි වේ. එනිසා, මුස්ලිම්වරු වන අප, කිතුනු හා යුදෙව්වන් මෙන් දේව දූතයන්ගෙන් සමහරක් උදවිය පමණක් විශ්වාස කොට, තවත් සමහරක් දූතවරුන් ව ප්‍රතික්ෂේප කිරීම නො කළ යුතු ය.
එමෙන් ම, දේව දූත මුහම්මද්තුමාණන් ද ඊමානය (විශ්වාසය) පිළිබඳ පැවසීමේ දී ඊමානය යනු “උත්තරීතර අල්ලාහ් පිළිබඳ ද උන්වහන්සේගේ මලාඉකාවරුන් පිළිබඳ ද උන්වහන්සේගේ ධර්ම පුස්තක පිළිබඳ ද අවසන් දිනය පිළිබඳ ද යහපත හෝ අයහපත උත්තරීතර අල්ලාහ්ගේ නියමය පරිදි සිදු වන බව ද විශ්වාස කිරීම වේ” යනුවෙන් පවසා ඇත. (මූලාශ්‍රය: මුස්ලිම් - 08)
දේව දූතයින්ගේ හාස්කම් හා ප්‍රාතිහාර්ය
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් තම රසූල්වරුන්ට ඔවුන්ගේ සද්භාවය හා දූත මෙහෙවරෙහි සත්‍යතාව සනාථ කිරීම පිණිස විවිධ සාධක පිරිනැමීම මඟින් ඔවුනට උදව් උපකාර කොට ඇත. ඒවා අතුරින් මිනිස් ශක්තියට පරිබාහිර ප්‍රාතිහාර්ය හා හාස්කම් කිරිමේ හැකියාව ප්‍රධාන තැනක් ගනී. මෙම ප්‍රාතිහාර්ය හෙවත් මුඃජිසාත් යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් විසින් තම දූතයින් ලවා සිදු කර පෙන්වන්නා වූ මිනිස් ශක්තියට පරිබාහිර කටයුත්තකි.
දේව දූතයින්ට පිරිනැමූ ප්‍රාතිහාර්ය අතුරින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
රසූල්වරුන් හෙවත් දේව දූතයින් පිළිබඳ විශ්වාස කිරීමෙහි අන්තර්ගත කරුණු මොනවා ද?
1.දේව දූතයින්ගේ දේව පණිවිඩ උත්තරීතර අල්ලාහ් වෙතින් ලැබුණු සත්‍ය ඒවා බවත් සියලු ම දේව පණිවිඩය කිසිදු ආදේශ කිරීමකින් තොර ව උත්තරීතර අල්ලාහ් ව පමණක් නැමදීම කෙරෙහි ඇරයුම් කළ බවත් විශ්වාස කිරීම.
මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “නියත වශයෙන් ම අපි සෑම සමාජයකට ම ‘ෂෙයිතාන්වරුන්ගෙන් වැළකී, උත්තරීතර අල්ලාහ් ව පමණක් නමදින්න’යැයි (ඔවුනට මඟ පෙන්වන) දේව දූතවරයෙක් යැව්වෙමු.” (සූරා අන්නහ්ල් - 36)
ඒ ඒ සමාජවලට ගැළපෙන පරිදි, අනුමත (හලාල්) හා අනුමත නො වන (හරාම්) දෑ යනාදී අනු කරුණුවල දී, එක් එක් දේව දූතයින්ට පහළ කළා වූ දේව පණිවිඩයන්හි ඇතුළත් නීතිරීතිවල යම් යම් වෙනස්කම් දැකිය හැක. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් වේ. “ඔබලාගෙන් සෑම සමූහයකට ම (ගැළපෙන පරදි) නීතිරීති පද්ධතියක් හා ක්‍රියාමර්ගයක් අපි ඇති කළෙමු.” (සූරා අල්මාඉදා - 48)
2- සෑම නබිවයෙකු ම හා දූතවරයෙකු ව ම විශ්වාස කිරීම.
සියලු ම දේව දූතයින් පිළිබඳ විශ්වාස කිරීම. එහි දී මුහම්මද්, ඉබ්රාහීම්, මූසා, ඊසා හා නූහ් (ඔවුනට අල්ලාහ් දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) යනුවෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් විසින් නම් වශයෙන් සඳහන් කර ඇති දේව දූතයින් ව නම් වශයෙන් ද, නම් සඳහන් නො කරන ලද උදවිය පොදුවේ ද විශ්වාස කළ යුතු ය. ඔවුන්ගෙන් එක් දූතයෙකු ව හෝ ඔහුගේ දේව පණිවිඩය හෝ ප්‍රතික්ෂේප කිරීම, සියලු ම දූතයින් ව හා සියලු ම දේව පණිවිඩ ප්‍රතික්ෂේප කිරීම හා සමාන ය.
3- ඔවුන්ගේ ප්‍රවෘත්තිවල සහ ප්‍රාතිහාර්යවල සත්‍යතාව විශ්වාස කිරීම.
දේව දූත මූසාතුමාණන්ගේ මුහුද දෙබෑ කිරීමේ සිදුවීම මෙන් දේව දූතයින්ගේ ප්‍රාතිහාර්යයන්, සිදුවීම් හා තොරතුරු අතුරින් උතුම් අල් කුර්ආනයේ හා සත්‍යතාව තහවුරු වූ හදීස්හි සඳහන් දෑ පමණක් විශ්වාස කිරීම.
4- උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් අප වෙත එවන ලද හා සියලු ම දේව දූතයින් අතුරින් ශ්‍රේෂ්ඨතම හා අවසන් දේව දූතයා වන මුහම්මද්තුමාණන් හට පහළ කරන ලද දේව පණිවිඩයට අදාළ නීතිරීති අනුව පමණක් කටයුතු කිරීම.
දේව දූතයින්ගේ ලක්ෂණ හා ගුණාංග:
1. ඔවුන් ද අප මෙන් මිනිසුන් වීම
අනෙකුත් මිනිසුන් හා ඔවුන් අතර ඇති වෙනස වන්නේ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් විසින් දේව හෙළිදරව් හා දේව පණිවිඩ ලබා දීමට තෝරා ගැනීම ය. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ. “(නබිවරය!) ඔබට පෙර ද පිරිමින් හැර වෙනත් කිසිවෙකු අපි දූතයෙකු වශයෙන් නො යැව්වෙමු. (එමෙන් ම, ඔබට මෙන් ම) ඔවුනට ද අපි වහී (දේව හෙළිදරව්) පහළ කළෙමු.” (සූරා අල් අන්බියා - 07) උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට ඇත්තාක් මෙන් කිසිදු දිව්‍යමය ගුණාංගයක් ඔවුනට නොමැත. නමුත්, ඔවුහු කිසිදු ඌනතාවයක් හෝ අඩුපාඩුවකින් තොර, පරිපූර්ණ හා ප්‍රියමනාප බාහිර පෙනුමකින් මෙන් ම, ශ්‍රේෂ්ඨ ගුණධර්ම හා සාරධර්මවලින් ද හෙබි උදවිය වෙති. තව ද, ඔවුහු ගෞරවණීය පෙළපතකින් පැවත එන උදවිය වෙති. එමෙන් ම ඔවුහු, දූත මෙහෙවරෙහි බර උසුලා ගැනීමට මෙන් ම, දේව පණිවිඩය ජනයාට දැනුම් දීමේ හා අවබෝධ කර දීමේ වගකීම ඉටු කිරීමට ද අත්‍යාවශ්‍ය වන, චතුර කථිකත්වයකින් ද, නිසියාකාර ව යමක් පැහැදිලි කර දීමේ හැකියාවෙන් ද, ශක්තිමත් මානසිකත්වයකින් ද, මනා බුද්ධියකින් ද හෙබි ය. උතතරීතර අල්ලාහ් දෙවිඳාණන් මිනිසුන් අතුරින් ම කෙනෙකු ව තම දූතයා වශයෙන් තෝරා පත් කොට ඇත්තේ, මිනිසුන් අනුගමනය කළ යුතු පරමාදර්ශී චරිතය ඔවුන්ගෙන් ම කෙනෙකු විය යුතු නිසා ය. එවිට තම පරමාදර්ශී දූතයා ව අනුගමනය කිරීම හා පිළිපැදීම, මිනිස් ශක්තියට පරිබාහිර නො වන පහසු කටයුත්තක් වනු ඇත.
2. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් තම දේව පණිවිඩය ලබා දීම සඳහා ඔවුන් ව තෝරා ගැනීම.
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ තම දේව පණිවිඩය ලබා දීම සඳහා මිනිසුන් අතුරින් ඔවුන් ව පමණක් තෝරා ගත්හ. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ව ඇත. “මම ද ඔබලා මෙන් මිනිසෙකි. (නමුත්) මා වෙත ඔබලාගේ දෙවිඳුන් එක ම දෙවියෙකු වේ යැයි වහී (දේව හෙළිදරව්) පහළ කරනු ලැබේ’ යනුවෙන් (නබිවරය!) ඔබ ඔවුනට පවසන්න.” (සූරා අල්කහ්ෆ් - 110) එමෙන් ම, ආධ්‍යාත්මික දියණුවකින් හෝ මහාප්‍රාඥයෙකු ව සිටීමෙන් දේව දූතයෙකු වීමට හෝ දේව පණිවිඩ ලබන්නෙකු වීමට නො හැකි ය. එය උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් විසින් කරන්නා වූ දිව්‍යමය තෝරා ගැනීමකි. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ. “තම දේව පණිවිඩය කුමන අවස්ථාවක කවරෙකුට ලබා දිය යුතු යැයි උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මැනවින් දනිති.” (සූරා අල් අන්ආම් - 124)
3. ඔවුන් උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ පූර්ණ රැකවරණය ලද උදවිය වීම.
එනිසා, ඔවුහු උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් පහළ කරා වූ දේව පණිවිඩය පිළිබඳ ජනයා දැනම්වත් කිරීමේ දී සහ දේව පණිවිඩයෙහි සඳහන් දෑ ඉටු කිරීමේ දී කිසිදු වරදක් හෝ අඩුවක් නො කරති.
සත්‍යවන්තභාවය
දේව දූතයෝ තම ප්‍රකාශයන්හි හා ක්‍රියාවන්හි සත්‍යවන්තයින් ලෙස කටයුතු කළහ. ඒ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “අපරිමිත දයාන්විතයාණන් පොරොන්දු වූ හා දේව දූතයින් සත්‍යය යැයි පැවසූ දේ මෙය යි.” (සූරා යාසීන් - 54)
5. ඉවසිලිවන්තභාවය
ඔවුහු ශුභාරංචි පවසමින් ද අවවාද අනුශාසනා ලබා දෙමින් ද අනතුරු අඟවමින් ද උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ ධර්මය පිළිගන්නා මෙන් ජනයාට ඇරයුම් කළහ. එහිදී ඔවුනට විවිධ දුෂ්කරතා, වධහිංසා හා අපහසුතාවලට මුහුණ පෑමට සිදු විය. ඒ සියල්ල ඔවුහු උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් වෙනුවෙන් ඉවසා සිටියහ. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “දේව දූතයින් අතුරින් උලුල් අස්මිවරුන් (දැඩි අධිෂ්ඨානශීලී උදවිය) ඉවසා සිටියාක් මෙන් (මුහම්මද්) ඔබ ද ඉවසා සිටින්න.” (සූරා අල්අහ්කාෆ් - 35)
දේව දූතයින් පිළිබඳ විශ්වාස කිරීමෙන් අත් වන ප්‍රයෝජන
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ද පවසති. කවුරුන් මගේ ඍජු මාර්ගය අනුගමනය කරන්නේද, ඔවුහු නොමඟ නො යන අතර අවාසානාවන්තයෝ ද නො වෙති. එමෙන් ම, කවුරුන් මාගේ ඔවදන් (ඇතුළත් අල් කුර්ආනය) ප්‍රතික්ෂේප කරන්නේ ද නියත වශයෙන් ම ඔවුනට දුෂ්කරතා හා අපහසුතාවලින් පිරි දිවියක් අත් වේ. (සූරා තාහා - 123,124)