දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම මිථ්‍යා විශ්වාස හා ඇදහිලි

ඉස්ලාම් යනු සාමාන්‍ය බුද්ධියෙන් සහ නිරෝගී මනසකට වැටහෙන ආගමක් වන අතර, එබැවින් එය පුද්ගලයෙකුගේ ආගම සහ ලෞකික ජීවිතය දූෂිත කරන සියලු ආකාරයේ මිථ්‍යා විශ්වාසයන්ට සහ මිත්‍යාවන්ට එරෙහි වේ. මෙම පාඩමේදී ඔබ ඒ ගැන යමක් ඉගෙන ගනු ඇත.

  • මිථ්‍යා විශ්වාස හා මනඃකල්පිත දෑ සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය හඳුනා ගැනීම.
  • සමහර වැරදි විශ්වාසයන් පිළිබඳ ඉස්ලාමයේ විධි විධාන හඳුනා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

අරාබිවරු හා ලොව අනෙකුත් මිනිස් සමාජ ඇතුළු සියල්ලෝ ම මිථ්‍යා ප්‍රබන්ධ, මිථ්‍යා විශ්වාස හා මනඃකල්පිත දෑ විශ්වාස කරමින් ඒවාට වහල්වූවන් සේ සිටියහ. කිසිදු සමාජයක් ඒවායින් ආරක්ෂා වී දුරස් ව නො සිටියේ ය. කෙතරම් දුරට ද යත්, ඉස්ලාමයේ ආරම්භ අවධියේ දී අරාබිවරු උතුම් අල් කුර්ආනය පවා, හුදෙක් මිථ්‍යා ප්‍රබන්ධයක් හා මනඃකල්පිතයක් යැයි සිතන තරමට පත් ව සිටියහ.

පසුව, උතුම් ඉස්ලාම් දහමේ පැමිණීමත් සමඟ මිථ්‍යා විශ්වාස, මිථ්‍යා ප්‍රබන්ධ හා මනඃකල්පිතවල ගිලී සිටි එම උදවිය, ඉස්ලාමීය ඉගැන්වීම්, නීති රීති, මූලිකාංග හා උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව පමණක් විශ්වාස කිරීමට යොමු කිරීම යනාදී කරුණු මඟින් ඒවායෙහි ආධිපත්‍යයෙන් මිදී මනා බුද්ධියකින්, පිවිතුරු මනසකින් හා ආත්මයකින් යුතු මිනිසුන් ලෙස පත් වූහ. එවැනි ඉස්ලාමීය ඉගැන්වීම්, නීති රීති හා මූලිකාංගවලින් කිහිපයක් පහත දැක් වේ.

යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් හා හූනියම් යනාදිය තහනම් කිරීම.

යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් හා හූනියම් යනාදිය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම හා ඒවා නොමඟට යොමු කරන මෙන් ම ෂිර්ක් (උත්තරීතර අල්ලාහ්ට ආදේශ තබන) කටයුත්තක් ලෙස සැලකීම හා එවැනි කටයුතුවල නියැලෙන්නන්ට මෙලොව හා එලොව දෙකෙහි ම ජයග්‍රහණය අත් නො වන බව සඳහන් කිරීම. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “කොහේ ගියා වුව ද, හූනියම්කරුවා ජයග්‍රහණය නො කරන්නේ ම ය.” (සූරා තාහා - 69)

එමෙන් ම හූනියම්කරුවන් හා ශාස්ත්‍රකරුවන් වෙත යෑම, ඔවුන්ගෙන් යමක් විමසීම හෝ උදව් උපකාර පැතීම යනාදිය ඉස්ලාමය තහනම් කොට ඇත. එසේ කටයුතු කරන උදවිය, දේව දූත මුහම්මද්තුමාණන් හට පහළ කරන ලද දෑ ප්‍රතික්ෂේප කළ උදවිය බවට පත් වෙති. මන්ද, කෙනෙකුට යහපතක් කිරීමට හෝ අයහපතක් ඇති වීමෙන් වැළැක්වීමට බලය ඇත්තේ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් අතෙහි පමණි. තවද, උන්වහන්සේට හැර වෙන කිසිවෙකුට ගුප්ත දෑ පිළිබඳ දැනුම නොමැත. මේ පිළිබඳ දේව දූත මුහම්මද්තුමාණන් මෙසේ පවසා ඇත. “කවරෙක් ශාස්ත්‍රකරුවෙකු වෙත ගොස් ඔහුගෙන් යමක් විමසා, ඔහු ව විශ්වාස කරන්නේ ද, නියත වශයෙන් ම ඔහු මුහම්මද් හට පහළ කරන ලද දෑ ප්‍රතික්ෂේප කළ අයෙක් වේ.” (මූලාශ්‍රය: අල්හාකිම් - 15)

යහපතක් කිරීම හෝ අයහපතක් ඇති වීමෙන් වැළැක්වීමේ ශක්තිය ඇත්තේ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් අතෙහි පමණි.

මිනිසුන්, ජින්වරුන්, ගස්වැල්, ගල්මුල් හා අතිවිශාල ග්‍රහලෝක ඇතුළු සියලු ම මැවීම් උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ මැවීමේ ශක්තියෙහි ඉමහත් බව හා ශ්‍රේෂ්ඨත්වය කියාපාන්නකි. මෙලොව කිසිදු මිනිසෙක්ට එවැනි අසහාය හා අද්විතීය බලයක් නොමැත. එබැවින් මැවීම, පාලනය, ශක්තිය හා පරිපාලනය යනාදිය උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට ම පමණක් හිමි දෑ ය. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “දැනගන්න! මැවීම හා පාලනය යනාදිය උන්වහන්සේ සතු ය. (සියල්ලා මවා පාලනය කරන) මුළු මහත් විශ්වයෙහි ම පරමාධිපති වන අල්ලාහ් ඉතාභාග්‍යවන්ත ය.” (සූරා අල් අඃරාෆ් - 54)

කවරෙකු එම මැවීම්හි ඉමහත් බව හා සූක්ෂ්ම බව දෙස අවධානය යොමු කරන්නේ ද ඒවායෙහි මැවුම්කරු, සියල්ල පරිපාලනය කරන මහා ශක්තිවන්ත පරමාධිපති අල්ලාහ් බවත්, සියලු ම ආකාරයේ නැමදුම් කටයුතු හා වත්පිළිවෙත් උන්වහන්සේ හැර අන් කිසිවෙකුටත් සිදු නො කළ යුතු බවත් ඔහු අවබෝධ කරගනී. උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හැර අන් සියල්ල උන්වහන්සේගේ මැවීම් ය. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ ප්‍රකාශ කොට ඇත. “රාත්‍රිය ද, දහවල ද, සූර්යයා ද, චන්ද්‍රයා ද, (උත්තරීතර අල්ලාහ්ගේ ශක්තිය පිළිබඳ හඟවන) උන්වහන්සේගේ සාධක අතුරින් ඇති ඒවා ය. එබැවින්, සැබැවින් ම ඔබලා උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව පමණක් නමදින්නන් වශයෙන් සිටින්නේ නම්, සූර්යයාට හෝ චන්ද්‍රයාට සුජූද් (නමස්කාර) නො කරනු. ඒ සියල්ල මැවූ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට පමණක් සුජූද් කරනු.” (සූරා ෆුස්සිලත් - 37)

ගුප්ත දෑ මෙන් ම අනාගතය හා සම්බන්ධ දෑ ද උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හැර අන් කිසිවෙක් නො දනී.

ගුප්ත දෑ මෙන් ම අනාගතය හා සම්බන්ධ දෑ ද උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට හැර අන් කිසිවෙකුට නො දන්නා බව උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත. කවරෙකු ගුප්ත දෑ පිළිබඳ ව ශාස්ත්‍රකරුවෙකුගෙන් හෝ යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් කරන්නෙකුගෙන් දැනගත හැකි බව විශ්වාස කරන්නේ ද සැබැවින් ම ඔහු බොරුකාරයෙකි. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ. “ගුප්ත දෑහි යතුරු ඇත්තේ උන්වහන්සේ සතුව ය.” (සූරා අල් අන්ආම් - 59)

එපමණක් නො ව, මැව්ම් අතුරින් උසස් ම හා ශ්‍රේෂඨතම මැවීම වන දේව දූත මුහම්මද්තුමාණන් හට පවා, (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අවසරයකින් තොර ව) තමාට යහපතක් කරගැනීමට හෝ තමන් ව අයහපතකින් වළක්වා ගැනීමට හෝ හැකියාවක් නො තිබුණි. එමෙන් ම, ගුප්ත දෑ මෙන් ම අනාගතය හා සම්බන්ධ දෑ පිළිබඳ ද එතුමාණන්ට දැනුමක් නො තිබුණි. එසේ තිබිය දී, එතුමාණන්ට වඩා තරාතිරමෙන් හා ශ්‍රේෂඨත්වයෙන් අඩු උදවියට, එවැනි දෑ පිළිබඳ දැනුමක් තිබිය හැක්කේ කෙසේ ද? “ 'අල්ලාහ්ගේ අභිමතයෙන් තොර ව, මා හට යහපතක් කරගැනීමට හෝ අයහපතකින් මා වළක්වා ගැනීමට හෝ හැකියාවක් මා හට නොමැත. ගුප්ත දෑ පිළිබඳ මා දන්නේ නම් අධික වශයෙන් යහපත් දෑ ඉටු කරගන්නට තිබුණි. එමෙන් ම, කිසිදු අයහපතක් මා හට ඇති නො වන්නට ද තිබුණි. (නමුත්) මා අවවාද කරන්නෙකු හා ශුභාරංචි පවසන්නෙකු මිස අන් කිසිවෙක් නො වේ’ යැයි (නබිතුමනි) ඔබ පවසන්න.” (සූරා අල් අඃරාෆ් - 188)

නිමිති බැලීම හා නැකැත් බැලීම යනාදිය තහනම් කිරීම

ඉස්ලාමය විසින් නිමිති බැලීම, නැකැත් බැලීම හා යම් යම් නිශ්චිත කරුණු, වර්ණ හා ප්‍රකාශ වැනි දෑ අශුභ සළකුණු ලෙස සැලකීම තහනම් කොට, අනාගතය පිළිබඳ ශුභවාදී ව හා ධනාත්මක ව සිතන ලෙස මඟපෙන්වා ඇත.

නිමිති බැලීමට නිදසුනක් ලෙස, කෙනෙකු ගමනක් යන විට හෝ යෑමට පෙර යම් නිශ්චිත පක්ෂියෙකු නෙත ගැටීම හෝ එම පක්ෂියාගේ හඬ කන වැකීම අශුභ නිමිත්තක් ලෙස සැලකීම දැක්විය හැකි ය. දේව දූත මුහම්මද්තුමාණන් එය ෂිර්ක් (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට ආදේශ තැබීමක්) ලෙස සඳහන් කොට ඇත. එතුමාණන් මෙසේ පවසා ඇත. “නිමිති බැලීම ෂිර්ක් කටයුත්තක් වේ.” (මූලාශය: අබූ දාවූද් - 3912, ඉබ්නු මාජා - 3538) මන්දයත්, ගුප්ත දෑ පිළිබඳ දැනුම උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට නොමැති බවත්, මුළු මහත් විශ්වයේ ම සියලු කටයුතු පරිපාලනය කරන්නා හා සැලසුම් කරන්නා උන්වහන්සේ බවත් යනුවෙන් මුස්ලිම්වරයෙකු සතු ස්ථීර ඊමානය හෙවත් විශ්වාසයට එය සම්පූර්ණයෙන් ම පටහැනි ය. මෙනිසා හුදෙක් යම් පක්ෂියෙකු හෝ සත්ත්වයෙකු නෙත ගැටීම හා ඌගේ ශබ්දය කන වැකීම පමණක් මුල් කොටගෙන එය අශුභ නිමිත්තක් ලෙස සැලකීම ඉස්ලාමය තහනම් කරයි.

අනෙක් අතට, ඉස්ලාම් ශුභවාදීව, ශුභවාදී වචන තෝරා ගැනීම, යහපත්කම අපේක්ෂා කිරීම, අල්ලාහ් පිළිබඳ යහපත් මතය ඇති කිරීම සඳහා නියෝග කරයි. නබිතුමාණෝ මෙලෙස ප්‍රකාශ කළහ: "මම හොඳ පෙර නිමිත්තකට කැමතියි: හොඳ වචනයක්, කරුණාවන්ත වචනයක්" (බුහාරි: 5776, මුස්ලිම්: 2224).

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.