දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ධර්ම ග්‍රන්ථ පිළිබඳ විශ්වාස කිරීම.

දෙවියන් වහන්සේගෙන් හෙළි කරන ලද ධර්ම ග්‍රන්ථ කෙරෙහි විශ්වාසය, විශ්වාසයේ එක් කුළුණකි. මෙම පාඩමේදී, ඔබ ධර්ම ග්‍රන්ථ පිළිබඳ විශ්වාසයේ අර්ථය, එහි වැදගත්කම, ඒවායේ සමහරක් නම් සහ අද ඒවා පිළිබඳ අපගේ ස්ථාවරය ගැන ඉගෙන ගනු ඇත.

  • ධර්ම ග්‍රන්ථ කෙරෙහි විශ්වාසයේ තේරුම සහ එහි වැදගත්කම දැන ගැනීම.
  • අද පවතින ධර්ම ග්‍රන්ථ සම්බන්ධයෙන් මුස්ලිම්වරයාගේ ස්ථාවරය ගැන ඉගෙන ගන්න.
  • ශුද්ධ වූ කුර්ආනය කෙරෙහි මුස්ලිම්වරුන්ගේ යුතුකම හඳුනා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ධර්ම ග්‍රන්ථ පිළිබඳ විශ්වාස කිරීම යනු කුමක් ද?

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මිනිසුන්ට යහමඟ පෙන්වීම පිණිස තම ධර්ම ග්‍රන්ථ රසූල්වරුන් හෙවත් දේව දූතයින් හට පහළ කරනු ලැබූ බවත්, එම ධර්ම ග්‍රන්ථ උන්වහන්සේගේ ස්වාභාවයට හා ශ්‍රේෂඨත්වයට උචිත උන්වහන්සේගේ සැබෑ ප්‍රකාශ බවත්, මිනිසුන්ගේ මෙලොව හා පරලොව දිවිය සඳහා වන සත්‍යය, ආලෝකය හා යහමඟ එහි අන්තර්ගත බවත් තරයේ විශ්වාස කිරීම වේ.

ධර්ම ග්‍රන්ථ පිළිබඳ විශ්වාස කිරීමේ වැදගත්කම.

ධර්ම ග්‍රන්ථ පිළිබඳ විශ්වාස කිරීම අර්කානුල් ඊමාන් හෙවත් ඊමානයේ (විශ්වාසයේ) මූලිකාංග හා කුළුණුවලින් එකකි. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ. “විශ්වාසවන්තයිනි! ඔබලා අල්ලාහ් ව ද, ඔහුගේ දූතයා ව ද, උන්වහන්සේ තමන්ගේ (මෙම) දූතයා කෙරෙහි පහළ කළා වූ මෙම ධර්ම ග්‍රන්ථය ද, මෙයට පෙර උන්වහන්සේ පහළ කළා වූ ධර්ම ග්‍රන්ථ ද විශ්වාස කරනු.” (සූරා අන්නිසා - 136) මේ අනුව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් තමන් කෙරෙහි ද තම දූතවරුන් කෙරෙහි ද දේව දූත මුහම්මද්තුමාණන්ට පහළ කළා වූ ධර්ම ග්‍රන්ථය වන උතුම් අල් කුර්ආනය කෙරෙහි ද විශ්වාස කරන මෙන් අණ කළාක් මෙන් උන්වහන්සේගේ අනෙකුත් ධර්ම ග්‍රන්ථ කෙරෙහි ද විශ්වාස කරන මෙන් අණ කර ඇති බව පැහැදිළි වේ.

දේව දූත මුහම්මද්තුමාණන් ද ඊමානය (විශ්වාසය) පිළිබඳ පැවසීමේ දී ඊමානය යනු “උත්තරීතර අල්ලාහ් පිළිබඳ ද, උන්වහන්සේගේ මලාඉකාවරුන් පිළිබඳ ද, උන්වහන්සේගේ ධර්ම පුස්තක පිළිබඳ ද, අවසන් දිනය පිළිබඳ ද, යහපත හෝ අයහපත උත්තරීතර අල්ලාහ්ගේ නියමය පරිදි සිදු වන බව ද විශ්වාස කිරීම වේ” යනුවෙන් පවසා ඇත. (මූලාශ්‍රය: මුස්ලිම් - 08)

ධර්ම ග්‍රන්ථ පිළිබඳ විශ්වාස කිරීමෙහි අන්තර්ගත කරුණු කුමක් ද?

١
නියත වශයෙන් ම එම ධර්ම ග්‍රන්ථ සියල්ල උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් විසින් පහළ කරන ලද ඒවා බව විශ්වාස කිරීම.
٢
එම ධර්ම ග්‍රන්ථ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ උතුම් ප්‍රකාශ බව විශ්වාස කිරීම.
٣
දේව දූත මුහම්මද්තුමාණන්ට පහළ කළා වූ ධර්ම ග්‍රන්ථයෙහි නාමය වන උතුම් අල් කුර්ආනය ද දේව දූත මූසාතුමාණන්ට (මෝසස්) පහළ කළා වූ ධර්ම ග්‍රන්ථයෙහි නාමය වන අත්තව්රාත් ද, දේව දූත ඊසාතුමාණන්ට (ජේසුස්) පහළ කළා වූ ධර්ම ග්‍රන්ථයෙහි නාමය වන ඉන්ජීල් ද යනුවෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් නම් තැබූ ග්‍රන්ථ ඒ නාමයෙන් ම විශ්වාස කිරීම.
٤
එම ධර්ම ග්‍රන්ථ කරුණු සම්බන්ධයෙන් කුමක් අල් කුර්ආනය හා නිවැරදි සුන්නහ්ව සනාථ කරන්නේ ද, එය අපි සනාථ කරන්නෙමු. ඒවායින් කුමක් අල් කුර්ආනය හා නිවැරදි සුන්නහ්ව ප්‍රතික්ෂේප කරන්නේ ද, එය අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. ඒ හැර සෙසු කරුණු ගැන නිහඬව පිළිවතක් අනුගමනය කරමු.

පෙර පහළ කරන ලද ධර්ම ග්‍රන්ථ පිළිබඳ අපගේ ස්ථාවරය කුමක් ද?

දේව දූත මූසාතුමාණන්ට පහළ කරනු ලැබූ අත්තව්රාත් ග්‍රන්ථය ද දේව දූත ඊසාතුමාණන්ට පහළ කරනු ලැබූ අල්ඉන්ජීල් ග්‍රන්ථය ද සත්‍ය වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් විසින් පහළ කරනු ලැබූ බවට විශ්වාස කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ. එමෙන් ම, එම ග්‍රන්ථවල මිනිසුන්ගේ මෙලොව හා එලොව දිවියට අවශ්‍ය නීති රීති, අවවාද අනුශාසනා හා නිවැරදි මඟපෙන්වීම් යනාදිය ඇතුළත් ව තිබූ බවට ද විශ්වාස කළ යුතු ය. නමුත්, එම ධර්ම ග්‍රන්ථ ලැබූ යුදෙව් හා කිතුණු උදවිය, ඒවායෙහි නො තිබූ නව කරුණු රාශියක් ඇතුළත් කරමින් හා ඒවායෙහි තිබූ සත්‍ය කරුණු ඉවත් කරමින් එම ග්‍රන්ථ සම්පූර්ණයෙන් ම විකෘති කළ බව උතුම් අල් කුර්ආනයේ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් අප හට දැනුම් දී ඇත. එම විකෘති කිරීම් නිසා එම ධර්ම ග්‍රන්ථ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් පහළ අයුරින් ම තවමත් පවතින බව කිසිසේත් ම විශ්වාස කළ නො හැකි ය.

වර්තමානයේ තිබෙන්නා වූ තව්රාත් හෙවත් තෝරාහ් ග්‍රන්ථය දේව දූත මූසාතුමාණන් (මෝසස්) හට පහළ කරන ලද තව්රාත් ග්‍රන්ථය ම නො වේ. මන්ද, යුදේව්වෝ එහි අන්තර්ගත නීති රීති හා බොහෝ දෑ විකෘති කළහ. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් උතුම් අල් කුර්ආනයෙහි මෙසේ ප්‍රකාශ කොට ඇත. “යුදෙව්වන්ගෙන් සමහරක් (තම ධර්ම ග්‍රන්ථයෙහි සඳහන්) දේව වැකි විකෘති කළහ.” (සූරා අන්නිසා - 46)

එමෙන් ම, වර්තමානයේ තිබෙන්නා වූ ඉන්ජීල් හෙවත් බයිබලය ද දේව දූත ඊසාතුමාණන් (ජේසුස්) හට පහළ කරන ලද ඉන්ජීල් ග්‍රන්ථය ම නො වේ. මන්ද, කිතුනුවෝ එහි අන්තර්ගත නීති රීති හා බොහෝ දෑ වෙනස් කොට විකෘති කළහ. එම කිතුනුවන් පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් උතුම් අල් කුර්ආනයෙහි මෙසේ ප්‍රකාශ කොට ඇත. “නියත වශයෙන් ම ඔවුන්ගෙන් සමහරක්, ධර්ම ග්‍රන්ථය කියවන විට, (ඒ සමග බොහොමයක් වෙනත් වගන්තීන් ද එක් කොට) ඒවා ද ධර්ම ග්‍රන්ථයෙහි ඇතැයි ඔබ අදහස් කරගැනීම පිණිස තමන්ගේ දිව (කට) ඇද කරමින් කියවති. එහෙත් ඒවා ධර්මයෙහි ඇති දෑ‍ නො වේ. තවද, ඔවුහු ‘එය අල්ලාහ් වෙතින් පැමිණ ඇතැ’යි ද පවසති. නමුත්, එය අල්ලාහ් වෙතින් පැමිණි දෑ නො වේ. ඔවුහු හොඳින් දැනදැන ම අල්ලාහ් මත (මෙසේ) බොරු ගොතා කියති.” (සූරා ආලඉම්රාන් - 78)

“තවද, කවරෙකු තමන් ව ‘ඇත්තෙන් ම අප ක්‍රිස්තියානුවන්’ යැයි පවසන්නේ ද, ඔවුන්ගෙන් අපි ප්‍රතිඥා ලබා ගතිමු. එහෙත් ඔවුහු තමන්ට අණ කර තිබූ බොහෝ දෑ අමතක කර දැමූහ. එබැවින් අපි, ඔවුන් තුළ වෛරය හා ක්‍රෝධය විනිශ්චය දින දක්වා ඇති වීමට ඉඩ හැරියෙමු. (මෙලොව දී) ඔවුන් කරමින් සිටි දෑ (පරලොව දී) අල්ලාහ් ඔවුනට ගෙන හැර දක්වනු ඇත.” (සූරා අල්මාඉදා - 14) එබැවින් වර්තමානයේ ඔවුන් සතු ව පවතින එම ධර්ම ග්‍රන්ථවල වැරදි සංකල්ප, තොරතුරු හා ගොතන ලද අසත්‍ය කතා පුවත් යනාදිය අන්තර්ගත බව මොනවට පැහැදිළි ය. එනිසා, එම ග්‍රන්ථවල අන්තර්ගත කරුණුවලින් උතුම් අල් කුර්ආනය හා හදීසය තහවුරු කරන දෑ පමණක් අප විශ්වාස කළ යුතු අතර උතුම් අල් කුර්ආනය හා හදීසය අසත්‍යය යැයි පවසන දෑ ප්‍රතික්ෂේප කළ යුතු ය. එමෙන් ම, උතුම් අල් කුර්ආනය හා හදීසය එම ග්‍රන්ථවල අන්තර්ගත යම් කරුණක් පිළිබඳ ව කිසිවක් නො පවසන්නේ නම්, එවැනි දෑ සම්බන්ධයෙන් විශ්වාස කිරීමෙන් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් තොර ව නිශ්ශබ්ද ව සිටිය යුතු ය.

උතුම් අල් කුර්ආනයේ සඳහන් වන පරදි, වර්තමානයේ ඇති තව්රාත් (තෝරාහ්) සහ ඉන්ජීල් (බයිබලය) යන ග්‍රන්ථ වෙනස්කම්වලට භාජනය වී විකෘති වී ඇති බවට විශ්වාස කළ යුතු නමුත්, එම ග්‍රන්ථවලට අපහාස කිරීමක් හෝ අවතක්සේරු කිරීමක් නො කොට, ඒවාට ගරු කිරීම අනිවාර්ය වේ. මන්ද, එම ග්‍රන්ථවල විකෘති නො වූ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ ප්‍රකාශ තවමත් තිබිය හැකි නිසා ය.

උතුම් අල් කුර්ආනය වෙනුවෙන් අප ඉටු කළ යුතු වගකීම් මොනවා ද?

١
උතුම් අල් කුර්ආනයට ආදරය කිරීම, ගරු කිරීම හා ඊට වටිනාකමක් ලබා දීම. මන්ද යත්, එය මැවුම්කරුවාණන් වන උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ වචන හා ප්‍රකාශ වන අතර ඒවා සත්‍යය හා ශ්‍රේෂ්ඨ වීම.
٢
උතුම් අල් කුර්ආනය නිතර නිතර කියවීම හා එහි වැකි අධ්‍යනය කිරීම. එමෙන් ම, කුර්ආනීය මඟපෙන්වීම්, තොරතුරු හා කතා වස්තු පිළිබඳ ගැඹුරින් සිතා බැලීම හා සත්‍යය හා අසත්‍යය බෙදා වෙන් කොට අවබෝධ කරගැනීම පිණිස අපගේ ජීවිතය ඒවා සමඟ සසඳා බැලීම.
٣
උතුම් අල් කුර්ආනයේ විධිවිධානවලට අවනත වෙමින් එහි නීති රීති පිළිපැදීම හා උතුම් අල් කුර්ආනය තම ජීවන සැලැස්ම බවට පත් කරගැනීම.

දේව දූත මුහම්මද්තුමාණන්ගේ ගතිගුණ පිළිබඳ එතුමාණන්ගේ භාර්යාව වන ආයිෂාතුමියගෙන් විමසූ අවස්ථාවේ දී “එතුමාණන්ගේ ගතිගුණ උතුම් අල් කුර්ආනය වශයෙන් තිබුණි” යැයි ඇය පැවසුවාය. (මූලාශ්‍රය: අහ්මද් - 24601, මුස්ලිම් - 746)

එම හදීසයේ අදහස වන්නේ, එතුමාණන් උතුම් අල් කුර්ආනීය නීති රීති, ඉගැන්වීම් හා මඟපෙන්වීම්වලට සම්පූර්ණයෙන් ම අවනත ව තම එදිනෙදා දිවියේ සියලු ම කටයුතු ඉටු කළ බව යි. අප සියලු දෙනා ම අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨ පරමාදර්ශී චරිතයක් වශයෙන් එතුමාණෝ සිටියහ. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනය මෙසේ පවසයි. “උත්තරීතර අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට උත්තරීතර අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් ව සිටින ඔබලාට නියත වශයෙන් ම අල්ලාහ්ගේ දූතයාණන් සතු ව අලංකාරවත් ආදර්ශයක් පවතී.” (සූරා අල් අහ්සාබ් - 21)

ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ තත්ත්වයන්හි ජීවත් වන හා විවිධ භාෂාවන් කතා කරන මිනිසුන් සිටිය ද, ඒ සියල්ලන්ට ම පාහේ උතුම් අල් කුර්ආනය කඩ පාඩම් කිරීමට හා කියවීමට පහසු අයුරින් පැවතීම, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙම උතුම් අල් කුර්ආනය ආරක්ෂා කරන බවට ඇති මහඟු සාධකයකි.

උතුම් අල් කුර්ආනයට ආවේණික සුවිශේෂී ලක්ෂණ

උතුම් අල් කුර්ආනය යනු අපගේ දේව දූත මුහම්මද්තුමාණන් හට පහළ වූ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ ප්‍රකාශ වේ. එනිසා මුඃමීන්වරු, උතුම් අල් කුර්ආනය ශ්‍රේෂඨ ග්‍රන්ථයක් ලෙස සැලකීමටත් ඊට ගරු කිරීමටත් එහි නීති රීති පිළිපැදීමටත් එය කියවීමට හා අධ්‍යනය කිරීමටත් නො පිරිහෙලා කටයුතු කරති. එමෙන් ම, උතුම් අල් කුර්ආනය මෙලොව අපගේ මාර්ගෝපදේශය හා පරලොව අපගේ ජයග්‍රහණයට හේතු කාරණාව වශයෙන් තිබීම ම ඒ සඳහා අපට ප්‍රමාණවත් ය. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් පහළ කළ අනෙකුත් ධර්ම ග්‍රන්ථ අතුරින් උතුම් අල් කුර්ආනය වෙන් කොට පෙන්වන ඊට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ බොහොමයක් දක්නට ඇත. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

1- උතුම් අල් කුර්ආනයෙහි සියලු ම දිව්‍යමය නීතිරීති හා අණපනත්හි සාරාංශය අන්තර්ගත වී තිබීම.

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව පමණක් නැමදිය යුතු යැයි අනෙකුත් ධර්ම ග්‍රන්ථවල අණ කර තිබූ කරුණ තව දුරටත් තහවුරු කිරීම හා ශක්තිමත් කිරීම. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මේ පිළිබඳ මෙසේ පවසති. “පෙර පහළ වූ ධර්ම ග්‍රන්ථවල අන්තර්ගත දෑ තහවුරු කරන්නක් හා ඊට සාධකයක් වශයෙන් අපි ඔබට මෙම ධර්ම ග්‍රන්ථය (අල් කුරආනය) පහළ කර ඇත්තෙමු.” (සූරා අල්මාඉදා - 48). “පෙර පහළ වූ ධර්ම ග්‍රන්ථවල අන්තර්ගත දෑ තහවුරු කරන්නක්” යන්නෙහි අදහස පෙර පහළ වූ ධර්ම ග්‍රන්ථවල තිබූ තොරතුරු, විශ්වාස හා සංකල්පවලට එකඟ වීම ය. එමෙන් ම, “ඊට සාධකයක් වශයෙන්” යන්නෙහි අදහස පෙර පහළ වූ ධර්ම ග්‍රන්ථවලට සාක්ෂියක් වශයෙන් පැවතීම ය.

2- භෂාව, ගෝත්‍රය හා පෙළපත කුමක් වුව ද උතුම් අල් කුර්ආනය පිළිපැදීම සියල්ලන්ට ම අනිවාර්ය වේ.

එමෙන් ම, පෙර පහළ වූ ධර්ම ග්‍රන්ථ නිශ්චිත කාලයක් තුළ නිශ්චික සමාජයකට පමණක් සීමා වී තිබුණ ද, උතුම් අල් කුර්ආනය එසේ නො වේ. එය පහළ වී කොතරම් කලක් ගත වුව ද සියල්ලන් ම එහි අන්තර්ගත දෑ හා ඉගැන්වීම්වලට අනුව කටයුතු කළ යුතු ය. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ ප්‍රකාශ කොට ඇත. “ඔබලාට හා කවරෙකුට එය (අල් කුර්ආනය) සේන්දු වන්නේ ද ඔවුනට එමඟින් මා අවවාද කිරීම පිණිස මෙම අල් කුර්ආනය මා වෙත වහී (දේව පණිවිඩ) ලෙස පහළ කරන ලදී.” (සූරා අල් අන්ආම් - 19)

3- උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් උතුම් අල් කුර්ආනය ආරක්ෂා කිරීමේ වගකීම භාරගෙන ඇත.

එනිසා ම, උතුම් අල් කුර්ආනයෙහි කිසිදු විකෘති කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු වී ද නොමැත, සිදු වන්නේ ද නොමැත. මේ පිළිබද උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “නියත වශයෙන් ම අපි ම මෙම ධර්මය (ඔබ කෙරෙහි) පහළ කළෙමු. එබැවින්, (එහි කිසිදු වෙනස්වීමක් හෝ විකෘතිවීමක් හෝ ඇති නො වන සේ) අපි ම එය ආරක්ෂා කරන්නෙමු.” (සූරා අල්හිජ්ර් - 09). එනිසා, එහි සඳහන් සියලු ම තොරතුරු සත්‍යය වන අතර ඒවා කිසිදු සැකයකින් තොර ව විශ්වාස කිරීම අපගේ වගකීම ය.

ධර්ම ග්‍රන්ථ පිළිබඳ විශ්වාස කිරීමෙහි බොහෝ ප්‍රයෝජන ඇත. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

١
සෑම සමාජයකට ම මඟ පෙන්වන ධර්ම ග්‍රන්ථයක් පහළ කිරීමෙන් හා ඔවුනට මෙලොව හා පරලොව සතුට හා සැපත ළඟා කර දීමෙන්, තම ගැත්තන් කෙරෙහි ඇති උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ උනන්දුව, සැලකිල්ල, අප්‍රමාණ ආදරය හා කරුණාව (රහ්මතය) පිළිබඳ අවබෝධ කරගැනීමට හැකි වීම.
٢
සෑම සමාජයකට ම ඔවුන්ගේ සමාජ තත්ත්වය හා දැනුම් මට්ටම යනාදී සෑම අංශයකින් ම ඔවුනට සරිලන හා උචිත නීතිරීති පද්ධතියක් ලබා දී තිබීමෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ පරිපූර්ණ සූක්ෂ්ම ඥානය හා ප්‍රඥාව පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් මෙසේ ප්‍රකාශ කොට ඇත.“ඔබලාගෙන් සෑම සමූහයකට ම (උචිත පරදි) නීතිරීති පද්ධතියක් හා ක්‍රියාමර්ගයක් අපි ඇති කළෙමු.” (සූරා අල්මාඉදා - 48)
٣
මෙලොව හා පරලොව දිවිය සඳහා වන යහමාර්ගය හා ආලෝකය ඇතුළත් දහම් ග්‍රන්ථ පහළ කිරීමේ මහඟු දායාදය වෙනුවෙන් උන්වහන්සේට ස්තූතිය පුද කිරීමට හැකි වීම. නියත වශයෙන් ම මෙය, උන්වහන්සේට ස්තූතිය පුද කළ යුතු මහඟු දයාදයක් හා ආශිර්වාදයකි.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.