දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම සලාතය ඉටු කරන ආකාරය

සර්වබලධාරී දෙවිඳාණන් පිළිගත හැකි වන පරිදි සලාතය ඉටු කළ යුතු නිවැරදි මාර්ගය ඉස්ලාම් ආගම පැහැදිලි කර ඇත. මෙම ඒකකය තුළ, ඔබ සලාතය ඉටු කරන ආකාරය සහ ක්‍රමය ගැන ඉගෙන ගනු ඇත.

  • සලාතය ඉටු කරන ආකාරය අවබෝධ කිරීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

1. චේතනාව

චේතනාව වනාහි සලාතයේ වලංගුභාවය සඳහා වූ කොන්දේසියකි. ඒ යනු සලාතය මඟින් අල්ලාහ් නැමදුමක් සිදු කරන බවට වූ චේතනාවක් තම සිත තුළ සලාතය ඉටු කරන්නා ගෙන ආ යුතු වේ. එමෙන් ම තමන් ඉටු කරන සලාතය මග්රිබ් ද, නැතහොත් ඉෂා ද යන වග ද ඔහු දැන ගැන සිටිය යුතුයි. මෙම චේතනාව මුවෙන් ප්‍රකාශ කිරීම අවශ්‍ය නො වේ. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ මනසෙහි චේතනාව හා සිහිබුද්ධිය වේ. එය මුවෙන් ප්‍රකාශ කිරීම වැරදි ය. මන්ද එසේ ප්‍රකාශ කිරීම ධර්ම දූතයාණන්ගෙන් ද එතුමාණන්ගේ සහගාමීන්ගෙන් ද වාර්තා වී නොමැති නිසාවෙනි.

2. අත් තක්බීර්

නැගිට සිට (අල්ලාහු අක්බර්) යැයි පවසයි. එවිට තම දෑත තම උරහිස දක්වා හෝ තම දෙකන් දක්වා ඔසවයි. එසේ ඔසවන විට තම ඇඟිලි දිගු කර අත්ල කිබ්ලා දෙසට හරවා ගනියි.

තක්බීර් යන්නෙහි අදහස

එය අල්ලාහු අක්බර් යැයි පැවසීම වේ. (අල්ලාහු අක්බර්) යන පදය හැර වෙන පදයකින් තක්බීර් කිව නො හැකි ය. එම පදයෙහි අර්ථය වනාහි: අල්ලාහ් ව මහිමයට පත් කිරීම සහ ගෞරවයට පත් කිරීමයි. ඔහු අන් සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ ය, ආශාවන් සහ සැප සම්පත් ඇති ලෝකයට වඩා ඔහු ශ්‍රේෂ්ඨ ය. එහෙයින් අපි ඒ සියල්ල පැත්තකින් තබා සලාතය තුළ අපි අපගේ හදවතින් සහ මනසින් නිහතමානීව උතුම් උත්තරීතර අල්ලාහ් වෙත හැරෙන්නෙමු යන්නයි.

3. තක්බීරයෙන් පසු තම දකුණතින් වමත අල්ලා තම හදවත මත තබා ගත යුතුයි. ඔහු සිටගෙන සිටින තාක් මේ අයුරින් ම සිටී.

4. සලාතය ආරම්භ කළ විගස කිව යුතු ප්‍රාර්ථනාවන් අතරින් ධර්ම ධූතයාණන් ප්‍රාර්ථනා කළ බව තහවුරු වූ ප්‍රාර්ථනාව මගින් ඔහු සලාතය ආරම්භ කරයි. "සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, තබාරක ඉස්මුක, වතආල ජද්දුක, වලා ඉලාහ ගයිරුක. "යන පාඨය ද ඉන් එකකි. එම පාඨයේ ආර්ථය: "අහෝ අල්ලාහ්! ඔබේ පැසසුම මඟින් ඔබව පැසසුමට ලක් කරමින් ඔබව සුවිශුද්ධ කරමි, ඔබේ නාමය ආශිර්වාද ලත් දෙයක් විය. ඔබේ ශ්‍රේෂ්ඨත්වය උසස් විය. ඔබ හැර නැමදුමට සුදුසු අන් කිසිවකු නැත."

5. තවද, "අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්" යනුවෙන් ඔහු පවසනු ඇත. එහි අර්ථය: "පලවා හරින ලද ෂෙයිතාන්ගේ උවදුරුවලින් මා අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි." තවද ඉස්තිආදා; ආරක්ෂාව පැතීමේ පාඨය ද මෙයයි.

6. තවද, "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" යනුවෙන් ද ඔහු පවසනු ඇත. එහි අර්ථය: "අපරමිත දයාන්විත අසම සම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් මා ආරම්භ කරමි" යන්නයි.

7. සූරතුල් ෆාතිහා හෙවත් ශුද්ධ වූ අල් කුර්ආනයේ තිබෙන ඉමහත් පරිච්ඡේදයක් වන අල් ෆාතිහා පරිච්ඡේදය පාරායනා කරනු ලබයි.

අල්ලාහ් මෙම පරිච්ඡේදය ඔහුගේ ධර්ම දූතයාණන් මත පහළ කර ඉමහත් භාග්‍යයක් පිරිනැමීය. ඒ බව ඔහු මෙසේ ප්‍රකාශ කළේ ය: "තවද (නබිවරය!) සැබැවින් ම අපි 'සබ්අන් මිනල් මසානී' (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු." (අල් හුජ්රාත් : 87) මෙහි සඳහන් 'සබ්අන් මිනල් මසානී' යනු සූරතුල් ෆාතිහා වේ. එය එසේ හඳුන්වනු ලබන්නේ එය දිනකට කිහිප වතාවක් සලාතයේ දී පුනරුච්චාරණය කරන පද හතක් වන බැවිනි.

එම සූරාව ඉගෙන ගැනීම මුස්ලිම්වරයකුට අනිවාර්ය වේ. මන්ද සලාතය මෙහෙයවන්නා විසින් ශබ්ද නගා පාරායන නො කරන සලාතයන් හි ඔහු ව අනුගමනය කරන්නා හා තනිව සලාතය ඉටු කරන්නා මෙම පරිච්ඡේදය පාරායනා කිරීම සලාතයේ කුලුණක් හෙවත් එක් මූලික කරුණක් වන බැවිනි.

සූරතුල් ෆාතිහා

8. සූරතුල් ෆාතිහා ව පාරායනා කිරීමෙන් පසු හා සලාතය මෙහෙය වන්නා එය පාරායනය කර අවසන් කර අවසන් වූ පසු ආමීන් යනුවෙන් ප්‍රකාශ කළ යුතුයි. එහි අර්ථය: අහෝ අල්ලාහ්! මෙය පිළිගනු මැන යන්නයි.

9. සූරතුල් ෆාතිහා පාරායනා කිරීමෙන් පසුව මුල් රක්ආත් දෙකෙහි ම වෙනත් අල්කුර්ආන් පරිච්ඡේදයක් හෝ වැකියක් පාරායනා කරනු ඇත‍. තෙවන හා සිව්වන රක්ආත් ගත් කළ එහි සූරතුල් ෆාතිහාවෙන් පමණක් සීමා කර ගනී.

අල්-ෆාතිහා පාරායනය කිරීම සහ ඉන්පසු පාරායනය කරන පරිච්ඡේදය හෝ වැකි ෆජ්ර් සලාතයේදී සහ මග්‍රිබ් සහ ඉෂා හි පළමු හා දෙවන රකඅත්වල දී ශබ්ද නඟා සිදු කරනු ලබන අතර, ළුහර් සහ අස්ර්හි ද මග්‍රිබ්හි තුන් වන රකඅයෙහි සහ ඉෂාහි තුන් වන සහ හතර වන රක්අත්වල ඒවා රහසිගතව පාරායනය කරනු ලබයි.

10. පසුව රුකූඃ ඉරියව්ව සඳහා ප්‍රථම තක්බීරය මෙන් තම දෑත් උරහිස දක්වා හෝ එයට උඩින් ඔසවා ගනිමින් තක්බීර් පවසයි. එවිට දෙඅත්ල කිබ්ලා දිශාව වෙත හරවා තබා ගත යුතුයි.

11. රුකූඃ හෙවත් දණහිස මත දෑත් තබා කිබ්ලා දිශාව වෙත තම පිට පිහිටන අයුරින් නමා තබා ගනියි. එවිට ඔහුගේ පිට සහ හිස සමව තබා ගත යුතු වේ. එමෙන් ම දෑත් හි ඇඟිලි එකතු නො කොට ඒවා අතර හිඩැස් තබමින් ඔහුගේ දෑත් දණහිස් මත තබා ගත යුතුයි. එමෙන් ම එහි දී "සුබ්හාන රබ්බියල් අළීම්" යනුවෙන් පවසනු ඇත. එහි තේරුම: මාගේ මහා පරමාධිපතියාණන් ව මා සුවිශුද්ධ කරමි යන්නයි. මේ අයුරින් තුන්වරක් පැවසීම සුන්නත් ය. එක්වරක් පැවසීම වාජිබ් හෙවත් අනිවාර්ය කරුණකි. රුකූඃ ඉරියව්ව වනාහි සර්වබලධාරී දෙවියන්ව මහිමයට හා ගෞරවයට පත් කරන අවස්ථාවකි.

"සුබ්හාන රබ්බියල් අළිම්" යන්නෙහි පූර්ණ අදහස වන්නේ: ශ්‍රේෂ්ඨ හා අතිශුද්ධ වූ දෙවිඳාණන් ව මා සියළු දෝෂවලින් පිවිතුරු කරමි යන්නයි. සලාතය ඉටුු කරන්නා රුකූඃ අවස්ථාවෙහි මෙය පවසා සිටී.

එවිට මීට පෙර සඳහන් කළ අයුරින් ඔහු තම අත්ල කිබ්ලා දිශාව වෙත පිහිටන අයුරින් තබා දෑත් උරහිස් දක්වා ඔසවා "සමිඅල්ලාහු ලිමන් හමිදාහ්" යනුවෙන් පවසමින් නැගිට ඍජූව සිට ගනී. මෙසේ පැවසිය යුත්තේ ඉමාම් හෙවත් සලාතය මෙහෙය වන්නෙකු හෝ සලාතය තනිව ඉටු කරන අයෙකු නම් පමණි. ඉන් පසු "රබ්බනා වලකල් හම්දු" අර්ථය: අහෝ මාගේ පරමාධිපතියාණනි‍! සියලු පැසසුම් ඔබට ම හිමිය. යැයි සියළු දෙනා ම පැවසුය යුතු ය.

එහිදි "රබ්බලා වලකල් හම්දු" යන පාඨයත් සමඟ අමතර ව මේ අයුරින් ද පැවසිය හැකි ය. එය ද සුන්නත් වේ: "හම්දන් කසීරන් තයියිබන් මුබාරකන් ෆීහි, මිල්අස්සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂයිඉන් බඃදු" එහි තේරුම: අහස් හා පොළොව ඒ දෙක අතර තිබෙන දෑහි ඔබගේ කැමැත්ත ඇති සියලූ දෑහි ද සියලූ ම ප‍්‍රශංසා ඔබ සතු ය. ඔබට අභිවෘද්ධිමත් පවිත‍්‍රවූත් අධික ප‍්‍රශංසාවන් හිමි වේවා! යන්නයි.

13. ඉන්පසු තක්බීර් පවසමින් ශරීර අවයව හතක් පොළොව මත තබයි. සුජූද් කිරීමේ දී පොළොව මත තබන අවයව හත වනුයේ: නළල සමඟ නාසය, අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි යන අවයව වේ. මෙහිදී තම දෑත් මදක් ශරීරයට ස්පර්ෂ නො වන අයුරින් දුරස් කර තබා, උදරය ද කලවා දෙකින් වෙන් කර පාදවලින් ද කලවා දෙක වෙන් කර, තවද වැලමිට සහ මැණික් කටුව අතර කොටස බිමෙන් ඔසවා තබා ගනී.

14. "සුබ්හාන රබ්බියල් අඃලා" යන්නෙහි අර්ථ විවරණය වනාහි: දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ ගෞරවයෙහි මහෝත්තමයාණන් වූ, එමෙන් ම අහස්වලට වඩා අතිඋසස් වූ අල්ලාහ්ව සෑම දෝෂයකින් ම සහ සෑම අඩුපාඩුවකින් ම මා සුවිශුද්ධ කරමි යන්නයි. මෙහි අල්ලාහ්ට යටත්ව පොළොවෙහි තම නළල තබා සිටින්නා හට වැදගත් දැනුම් දීමක් අන්තර්ගත වේ. එය වනාහි ගැත්තෙකු වන තමන් හා ස්වාමියා වූ අල්ලාහ් අතර තිබෙන වෙනස මෙනෙහි කර තම පරමාධිපති හා තම භාරකරු වූ ඔහු වෙනුවෙන් සිරස නමා පහත් විය යුතුයි.

සුජූද් කිරීමේ මහිමය

අල්ලාහ්ගෙන් අයැදීම සඳහා වූ උචිත ම ස්ථානය සුජූදය වේ. මෙහි කිව යුතු අනිවාර්ය පාඨය ප්‍රකාශ කළ පසු දෙලොවෙහි යහපතින් තමන් අභිමත කරන දෑ අල්ලාහ්ගෙන් අයැද සිටිය හැකි ය. ධර්ම දූතයාණෝ මෙසේ පැවසූහ: "ගැත්තෙකු තම ස්වාමියා වෙත ඉතා සමීප වන්නේ ඔහු සුජූද් කරන විටය. එබැවින් එහි අධික ලෙස අයැදිනු." (මුස්ලිම් 482)

15. පසුව අල්ලාහු අක්බර් යැයි පවසා සජදා දෙක අතර වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීම ය. තම දෑත් කලව මත තබයි.

සලාතයේ වාඩි වී සිටිය යුතු අයුරු

සලාතයේ වාඩි වී සිටින සියලු ම අවස්ථාවල දී, පෙර සඳහන් කළ අයුරින් වාඩි වී සිටීම සුන්නත් ය. එනමුත් අවසන් තෂහ්හුදය හැර. එහිදී සුන්නත් වන්නේ වම් කකුල දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගැනීම වේ.

සජදා දෙක අතර කිව යුතු ප්‍රාර්ථනාව

16. සජදා දෙක අතර එක් වරක් "රබ්බිග් ෆිර්ලී" (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම. එය තුන් වරක් දක්වා වැඩි කිරීම සුන්නාවකි.

17. පසුව තක්බීර් පවසා සුජූද් කරයි. ආරම්භයේ සිදු කළාක් මෙන් ම දෙවන සුජූදයෙහි ද පිළිපදියි.

18. පසුව "අල්ලාහු අක්බර්" යැයි තක්බීර් පවසමින් ඍජූව නැගිටියි.

19. දෙවන රක්අතය ද සම්පූර්ණ ලෙස පළවෙනි රක්අතය මෙන් ඉටු කරයි.

20. දෙවන රක්අතයෙහි දෙවන සුජූදයෙන් පසු පළවෙනි තෂහ්හුදය සඳහා අසුන් ගනී. එහි අසුන් ගන්නා විට සුජූද් දෙක අතර අසුන් ගන්නාක් මෙන් අසුන් ගත යුතුයි. පසුව කිබ්ලා දිශාව වෙත තම දකුණු අතහෙි පිහිටි දබරැඟිල්ලෙන් සංඥා කරයි. තවද "අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු." යැයි පවසයි. තේරුම: "සියලු ශුභාසිංසනයන් අල්ලාහ් සතුය. එමෙන්ම සියලු ආශිර්වාදයන් හා සියලු යහපත් දෑ ද (ඔහු සතු ය.) අහෝ නබිතුමණි! ඔබට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ අභිවෘද්ධිය හිමි වේවා! එමෙන්ම අප වෙත හා අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙත ද හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන්ම නියත වශයෙන් ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවට ද මම සාක්ෂි දරමි."

ඉටු කරනු ලබන සලාතය රක්ආත් තුනකින් හෝ හතරකින් සමන්විත සලාතයක් නම් එම තුන්වන හා හතරවන රක්අත්වල සූරතුල් ෆාතිහාවට පසු කිසිවක් පාරායනය නො කරයි.

22. පසුව අවසන් රක්අතයෙහි දෙවන සුජූදයෙන් පසු අවසන් තෂහ්හුදය සඳහා අසුන් ගනී. එහි අසුන් ගැනීමේ ආකාරය වනාහි: . වම් කකුල දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගැනීම වේ. ප්‍රථම තෂහ්හුදයෙහි පැවසූ පාඨය මෙහි ද පැවසිය යුතුයි.

ඉන් පසුව මෙසේ පැවසීම ද සුන්නත් වේ: "අඌදු බිල්ලාහි මින් අදාබි ජහන්නම්, වමින් අදාබිල් කබ්ර්, වමින් ෆිත්නතිල් මහ්මා වල් මමාත්, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්." එහි තේරුම: "අපාය දඬුවමින් ද, මිනීවල දඬුවමින් ද, ජීවත් වීමේ දී සහ මරණයට පත් වීමේ දී ඇති වන අර්බුදවලින් ද, අන්ධ වූ දජ්ජාල්ගේ අර්බුදවලින් ද මා අල්ලාහ්ගෙන් රැකවරණය පතමි."

23. පසුව "අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි. මෙසේ සලාම් පැවසීමත් සමඟ මුස්ලිම්වරයකු තමා ඉටු කරන සලාතය අවසන් කරනු ඇත. ධර්ම දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ: "සලාතය තුළ සියල්ල තහනම් කරන්නේ තක්බීරයයි. ඒවා සියල්ල නැවතත් අනුමත කරන්නේ සලාම් පැවසීමයි." (අබූ දාවූද් 61, තිර්මිදි 3) එහි අර්ථ විවරණය වනාහි සලාතය තුළ කෙනෙකු පිවිසෙන්නේ තක්බීරය මඟින් හා එයින් පිටත් ව යන්නේ සලාම් පැවසීම මඟින් ය යන්නයි.

අනිවාර්ය වූ සලාතයක් අවසන් කළ පසු පහත සඳහන් අයුරින් පැවසීම සුන්නත් වේ:

١
අස්තග්ෆිරුල්ලාහ් (තුන් වරක්)
٢
"අල්ලාහුම්ම අන්තස් සලාම් වමින්කස් සලාම් තබාරක්ත දල් ජලාලි වල් ඉක්රාම්." තේරුම: "යා අල්ලාහ්! ශාන්තිය ඔබයි. ශාන්තිය ඇති වනුයේ ඔබෙන් ය. ගෞරවනී වූ ද, අභිමානවත් වූ ද ඔබ භාග්‍ය වන්තයා ය."
٣
"අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු." තේරුම: "යා අල්ලාහ්! ඔබ දුන් දෙයක් වළක්වාලීමට හෝ ඔබ වැළකූ දෙයක් ලබා දීමට හෝ කිසිවකුට හැකියාවක් නොමැත. ඔබෙන් මිදීමට ධනවතාගේ ධනය ඔහුට ප්‍රයෝජනවත් නො වෙයි."
٤
පසුව සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුපිවිතුරුය) 33 වරක්, අල් හම්දු ලිල්ලාහ් (සියලු ප්‍රශංසා අල්ලාහ්ටය) 33 වරක් සහ අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යනුවෙන් 33 වරක් පැවසීම.
٥
සියය සම්පූර්ණ කිරීම සඳහා "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්." තේරුම: "නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. සියලු ආධිපත්‍යයන් ඔහුට ම හිමිය. ප‍්‍රශංසා සියල්ල ද ඔහුට ම ය. ඔහු සෑම දෙයක් කෙරෙහිම බලය ඇත්තාය."

අල් ෆාතිහා පරිච්ඡේදය සහ සලාතයට ආවේනික් වූ මෙනෙහි කිරීම් පාඩම් නැති අයෙකු කුමක් කළ යුතු ද?

අරාබි බසින් අල්-ෆාතිහා කටපාඩම් කිරීමට ඔහුට දැඩි වෙහෙසක් දැරීමට සිදු වේ, මන්ද එය වෙනත් කිසිදු භාෂාවකින් වලංගු නො වන බැවිනි. එසේ ම, සලාතයේ අනිවාර්ය පාඨයන් මතක තබා ගැනීමට ද ඔහු උත්සාහ කළ යුතු ය. ඒ අනිවාර්ය පාඨ වනාහි: අල්ෆාතිහා පරිච්ඡේදය, තක්බීර් පැවසීම, සුබ්හාන රබ්බියල් අළීම්, සමිඅල්ලාහු ලිමන් හමිදා, රබ්බනා ලකල් හම්දු, සුබ්හාන රබ්බියල් අඃලා, රබ්බිග් ෆිර්ලී හා තෂහ්හුද් මා නබි තුමාණන් හට සලවාත් පැවසීම හා අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් යනුවෙන් පැවසීමයි.

ඒවා පාඩම් කරන තුරු ඔහු දැනුවත් සුබ්හානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ් හෝ අල්ලාහු අක්බර් වැනි යම් හෝ මෙනෙහි කිරීමක් ඔහු කිව යුතුයි. නැතහොත් ඔහු දැනුවත් අල්කුර්ආන් වැකියක් ඍජූ ව සිට ගෙන සිටින ඉරියව්වෙහි පාරායනා කළ යුතුයි. මන්ද උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසා තිබේ: "ඔබට හැකි අයුරින් අල්ලාහ්ට බියබැතිමත් වනු" (අත් තඝාබුන්:16)

නවක මුස්ලිම්වරයකු ගත් කළ

ඔහුගේ සලාතය විධිමත් කිරීම සඳහා (ඔහුට හැකි පමණින්) සාමූහික ව සලාතය ඉටු කිරීමට ඔහු ඉතා උනන්දු විය යුතු ය. මන්ද සලාතය මෙහෙය වන ඉමාම්වරයා විසින් ඔහු අනුගමනය කර සලාතය ඉටු කරන්නන්ගේ ඇතැම් අඩුපාඩු දරා ගනු ලැබේ.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.