වත්මන් කොටස: model:
පාඩම දේව දූත මුහම්මද්තුමාණන් පිළිබඳ විශ්වාස කිරීම.
දේව දූත මුහම්මද්තුමාණන් වෙනුවෙන් අප ඉටු කළ යුතු වගකීම් මොනවා ද?
1.දේව දූත මුහම්මද්තුමාණන් අල්ලාහ් දෙවිඳුන්ගේ ගැත්තා හා දූතයා බවත් සියලු ම දූතයන්ගේ නායකයා හා අවසාන දේව දූතයා බවත් විශ්වාස කළ යුතු ය. එමෙන් ම, එතුමාණන් තමන්ට පහළ කළා වූ දේව පණිවිඩය නිසි අයුරින් ජනයාට දැනුම් දුන් බවත් තමන්ගේ වගකීම් සියල්ල ඉටු කළ බවත් ජනයාට අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දුන් බවත් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් කැප වී කටයුතු කළ බවත් විශ්වාස කළ යුතු ය.
2. දේව දූත මුහම්මද්තුමාණන් දැනුම් දුන්නා වූ සියලු ම දෑ සත්‍යය යැයි විශ්වාස කිරීම, එතුමාණන් අණ කළ දෑ ඉටු කිරීම හා එතුමාණන් විසින් වැළකී සිටින මෙන් අප හට උපදෙස් දූන් කරුණුවලින් වැළකී සිටීම. එමෙන් ම, සියලු ම නැමදුම් කටයුතු එතුමාණන්ගේ මඟපෙන්වීමට අනුගත ව ඉටු කිරීම හා අපගේ දිවියේ පරමාදර්ශී චරිතය වශයෙන් එතුමාණන් ව පත් කරගැනීම. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ. “උත්තරීතර අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට උත්තරීතර අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් ව සිටින ඔබලාට, නියත වශයෙන් ම අල්ලාහ්ගේ දූතයාණන් සතු ව අලංකාරවත් ආදර්ශ පවතී.” (සූරා අල් අහ්සාබ් - 21)
3. තම දෙමව්පියන්, දරුවන් ඇතුළු අනෙකුත් සියලු ම දෙනාට වඩා දේව දූත මුහම්මද්තුමාණන් ආදරය කිරීම. මේ පිළිබඳ එතුමාණන් මෙසේ පවසා ඇත. “ඔබලා අතුරින් කවරෙකු තම දෙමව්පියන්, දරුවන් ඇතුළු අනෙකුත් සියලු ම දෙනාට වඩා, මා හට ආදරය කරන තුරු, ඔහු සැබෑ විශ්වාසවන්තයෙකු ව නො සිටියි.” (මූලාශ්‍රය: බුහාරි - 15, මුස්ලිම් - 44). එතුමාණන් කෙරෙහි සැබෑ ලෙස ම ආදරය දැක්වීම යනු එතුමාණන්ගේ ඉගැන්වීම් පිළිපදිමින් කටයුතු කිරීම ය. සැබෑ සතුට හා සැබෑ මඟපෙන්වීම ළඟා කරගත හැක්කේ එතුමාණන්ට අවනත ව කටයුතු කිරීමෙන් පමණි. මේ සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ පවසති. “ඔබලා එතුමාණන්ට අවනත ව කටයුතු කරන්නේ නම්, ඔබලාට සෘජු මාර්ගය අත් වනු ඇත. (අපගේ දේව පණිවිඩ) පැහැදිලි ව දැනුම් දීම මිස අන් කිසිවක් අපගේ දූතයා කෙරෙහි අනිවාර්ය නො වේ.” (සූරා නූර් - 54)
එතුමාණන් වෙතින් පැමිණි සියලු ම දෑ පිළිගැනීම, එතුමාණන්ගේ සුන්නාවට (ප්‍රකාශ, ක්‍රියා හා අනුමත කළ දෑ) අවනත වීම හා එතුමාණන්ගේ මඟපෙන්වීම් හා උපදෙස්වලට ගරු කිරීම. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙලෙස ප්‍රකාශ කොට ඇත. “ඔවුනතර ඇති වූ ආරවුලක දී ඔබ ව විනිශ්චයකරුවෙකු වශයෙන් ගෙන, පසුව ඔබ ලබා දුන් තීන්දුව පිළිබඳ ඔවුන් තුළ කිසිදු අප්‍රසාදයක් නොමැති ව, මුළුමනින් ම (එම තීන්දුවට) අවනත වන තුරු, නියත වශයෙන් ම ඔවුන් විශ්වාසවන්තයින් නො වෙති’ යැයි මම ඔබගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමි.” (සූරා අන්නිසා - 65)
එතුමාණන්ගේ නියෝගයන්ට පිටුපා කටයුතු කිරීමෙන් වැළකී සිටීම. මන්ද, එසේ කටයුතු කිරීමෙන් දුක්කරදර හා දැඩි දඬුවම්වලට මුහුණ පෑමටත් නොමඟ යෑමටත් මඟ පාදනු ඇත. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “එබැවින්, කවුරුන් ඔහුගේ නියෝගයන්ට පිටුපා කටයුතු කරන්නේ ද, ඔවුන් තමන්ට යම්කිසි විපතක් හෝ වේදනීය දඬුවමක් අත් වීම පිළිබඳ ව ප්‍රවේශම් වන්න.” (සූරා අන් නූර් - 63)
පෙර පහළ වූ දේව පණිවිඩවල නොමැති සුවිශේෂී ලක්ෂණ බොහෝමයක් දේව දූත මුහම්මද්තුමාණන්ගේ දේව පණිවිඩයෙහි දක්නට ඇත. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
1. දේව දූත මුහම්මද්තුමාණන්ගේ දේව පණිවිඩය, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් පහළ කළා වූ අවසන් දේව පණිවිඩය වීම. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවෙකුගේ පියෙකු නො වීය. නමුත් ඔහු අල්ලාහ්ගේ රසූල්වරයා ය. තව ද ඔහු නබිවරුන්ගෙන් (දේව දූයන්ගෙන්) අවසානයා ය. අල්ලාහ් දෙවිඳාණෝ සියලු දෑ පිළිබඳ සර්වඥ ය.” (සූරා අල්අහසාබ් - 40)
2. දේව දූත මුහම්මද්තුමාණන්ගේ දේව පණිවිඩය පහළ වීමත් සමඟ ඊට පෙර පහළ වූ සියලු ම දේව පණිවිඩ අහෝසි වීම. එනිසා, එතුමාණන්ට පහළ වූ දේව පණිවිඩය වන ඉස්ලාමය හැර වෙනත් කිසිදු දහමක් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් නො පිළිගනිති. එබැවින්, එතුමාණන්ගේ දේශනා කළා වූ දහම අනුගමනය කිරීමෙන් තොර ව, කිසිවෙකුටත් උසස් වූ ස්වර්ගයට පිවිසිය නො හැකි ය. එතුමාණෝ දේව දූතයින් අතුරින් ගෞරවාන්විත ම දේව දූතයා ය. එතුමාණන්ගේ සමාජය, අනෙකුත් සියලු ම සමාජයන් අතුරින් ශ්‍රේෂඨතම සමාජය වේ. එතුමාණන් ඉදිරිපත් කළා වු නීතිරීති පද්ධතිය, පරීපූර්ණ ම නීතිරීති පද්ධතිය වේ. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මේ පිළිබඳ මෙසේ ප්‍රකාශ කරති. “කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද, නියත වශයෙන් ම එය ඔහුගෙන් පිළිගනු නො ලැබේ. තව ද, පරලොවෙහි ඔහු අලාභවන්තයෙකු වශයෙන් ම සිටී.” (සූරා ආල ඉම්රාන් - 85) එමෙන් ම, දේව දූත මුහම්මද්තුමාණන් ද මෙසේ දේශනා කොට ඇත. “මුහම්මද්ගේ ප්‍රාණය කවරෙකුගේ අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි! මෙම සමාජයේ සිටින යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ කවරෙකු හෝ වේවා, මා පිළිබඳ ආරංචි වී පසු ව කුමක් සමඟින් මා යවනු ලැබුවේ ද, එය (ධර්මය) විශ්වාස නො කොට, මරණයට පත් වන්නේ ද නියත වශයෙන් ම ඔහු නිරාවැසියන්ගෙන් කෙනෙකු බවට පත් වේ.” (මූලාශ්‍රය: මුස්ලිම් - 153, අහ්මද් - 8609)
3. දේව දූත මුහම්මද්තුමාණන්ට පහළ වූ දේව පණිවිඩය මිනිසුන් හා ජින්වරුන් යන දෙවර්ගයට ම පොදු ය. උතුම් අල් කුර්ආනයේ සඳහන් ජින්වරයෙකුගේ පහත ප්‍රකාශය ඊට කදිම සාධකයකි. “අපගේ වාර්ගිකයිනි! අල්ලාහ්ගේ ඇරයුම්කරු වෙත ඔබලා පිළිතුරු දෙන්න.” (සූරා අල් අහ්කාෆ් - 31) උතුම් අල් කුර්ආනයේ තවත් ස්ථානයක මෙසේ ද සඳහන් ය. “(නබිතුමණි!) අපි ඔබ ව සියලු ම මිනිසුන්ට ශුභාරංචි පවසන්නෙකු හා අනතුරු අඟවන්නෙකු වශයෙන් යවා ඇත්තෙමු.” දේව දූත මුහම්මද්තුමාණන් මෙසේ දේශනා කොට ඇත. “අනෙකුත් දේව දූතයන්ට වඩා කරුණු හයකින් මම සුවිශේෂී වෙමි. මම (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙතින්) අරුත්බර සංක්ෂිප්ත භාෂිතය ලදිමි, (සතුරන්ගේ සිත් තුළ) බිය කාවැද්දීමෙන් උපකාර ලදිමි. යුධ ශේෂ වස්තු මා හට කැප විය. මහපොළොව මා හට පවිත්‍ර ලෙස ද නැමදුම් බිමක් ලෙස ද පත්කරනු ලැබිණි. සමස්ත ජීවී වර්ගයා උදෙසා දේව දූතයෙකු ලෙස යවනු ලැබුවෙමි. දේවදූත පුරුක මාගෙන් නිම විණි.” (මූලාශ්‍රය: බුහාරි - 2815, මුස්ලිම් - 523)
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්, සහගාමීන් නොමැති ව කිසිදු දේව දූතයෙකු යවා නොමැත. දේව දූතයෙකුගේ අනුගාමිකයින් අතුරින් ශ්‍රේෂ්ඨතම පිරිස වන්නේ ඔවුන් ය. නිවැරදි ව ධර්මය අවබෝධ කොටගෙන, ඊට අනුකූලව ජීවත් වෙමින්, අනෙකුත් උදවියට ද කිසිදු අඩුවකින් තොර ව, පිවිතුරු හා නිවැරදි අයුරින් ධර්මය පිළිබඳ දැනුම් දීම පිණිස, දේව දූතවරුන්ට පසු ව මැවීම් අතුරින් ශ්‍රේෂඨතම උදවිය වන ඔවුන්ගේ සහගාමීන් ව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් තෝරාගෙන ඇත. මේ පිළිබඳ ව දේව දූත මුහම්මද්තුමාණන් මෙසේ ප්‍රකාශ කොට ඇත. “මාගේ සමාජයෙන් ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ, මා දූතයෙකු වශයෙන් යවනු ලැබූ කාලවකවානුවේ දී සිටි උදවිය යි. ඉන් පසු ව ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ, ඔවුන්ගෙන් පසු ව පැමිණි උදවිය යි. ඊටත් පසු ව ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ, ඔවුන්ගෙනුත් පසු ව පැමිණි උදවිය යි.” (මූලාශ්‍රය: මුස්ලිම් - 2534)
සහාබාවරයා හෙවත් දේව දූත මුහම්මද්තුමාණන්ගේ සහගාමියා යන්නෙහි නිර්වචනය.
සහාබාවරයා යනු “දේව දූත මුහම්මද්තුමාණන් ව මුස්ලිම්වරයෙකු වශයෙන් හමු වී, මුස්ලිම්වරයෙකු වශයෙන් ම මරණයට පත් වූ පුද්ගලයා” වේ.
සහාබාවරුන්ගේ උදාර බව හා ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ උතුම් අල් කුර්ආනයේ හා දේව දූත මුහම්මද්තුමාණන්ගේ සුන්නාවෙහි (එතුමාණන්ගේ ප්‍රකාශ, ක්‍රියා හා අනුමත කළ දෑ) බහුල ව සඳහන් වී ඇත. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
දේව දූත මුහම්මද්තුමාණන්ගේ සහාබාවරුන් හා පවුලේ උදවිය වෙනුවෙන් අප ඉටු කළ වගකීම්
ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
1. ඔවුනට ආදරය කිරීම, ගරු කිරීම හා ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම.
මුහාජරීන්වරුන් (මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය කළ සහාබාවරුන්) මක්කාවේ තිබූ තම ගෙවල් දොරවල්, මිල මුදල් ඇතුළු සියලු ම සම්පත් අත්හැර තම දහමේ කෙරෙහි ඇති ලැදියාව හා කැමැත්ත හේතුවෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මදීනාවල බලා සංක්‍රමණය වූ සහාබාවරුන්ට අල්ලාහ් දෙවිඳාණන් ප්‍රශංසා කොට ඇත. එමෙන් ම, මුහාජිරීන්වරුන්ට උදව් උපකාර කළ වූ ද, ඔවුන් සමඟ තම මිල මුදල්, සැප සම්පත් සියල්ල බෙදා හදා ගත්තා වූ ද, සෑම කරුණක දී ම තමන්ට වඩා ඔවුනට ප්‍රමුඛස්ථානය ලබා දුන්නා වූ ද, මදීනාවාසී අන්සාරිවරුන්ට ද උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ප්‍රශංසා කොට ඇත. එපමණක් නො ව, ඔවුන්ගෙන් පසු ව, එම සහාබාවරුන්ගේ උදාර බව හා ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගෙන, ඔවුන්ගෙන් කිසිවෙකු පිළිබඳ ව හෝ කිසිදු අහිතක්, අමනාපයක් හා අකැමැත්තක් නොමැති ව, හදවතින් ම ඔවුනට ප්‍රාර්ථනා කරන හා ආදරය කරන උදවියට ද උන්වහන්සේ ප්‍රශංසා කොට ඇත්තාහ.
“තමන්ගේ නිවෙස්වලින් හා සම්පත්වලින් ද පිටමං කරනු ලැබූ දුගී මුහාජිර්වරුන්ට (එයින් කොටසක්) සතු ය. ඔවහු උත්තරීතර අල්ලාහ්ගේ භාග්‍යය හා තෘප්තිය පතමින් ද අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට උපකාර කරති. සැබැවින් ම, සත්‍යවන්තයින් වන්නේ ඔවුන් ම ය. ඔවුනට පෙර (මදීනා නගරය තම) වාසස්ථානය කරගත් හා (ඉස්ලාමය) විශ්වාස කළ උදවිය (වන අන්සාර්වරු) තමන් වෙත දේශාන්තරණය කර පැමිණි අය (වන මුහාජිර්වරුන්) ව ප‍්‍රිය කරති. තව ද, (මුහාජිර්වරුන් වන) ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ සුළු හෝ ඊර්ෂියාවක් (අන්සාර්වරුන් වන) ඔවුනට නොමැත. තව ද, ඔවුහු තමන්ට (දැඩි) අවශ්‍යතාවක් තිබුණ ද තමන්ට වඩා (මුහාජිර්වරුන් වන) ඔවුනට ප‍්‍රමුඛත්වය ලබා දෙති. තව ද, කවරෙකු තමන්ගේ හදවතෙහි ඇති මසුරුකමින් වැලකී සිටිනු ලබන්නේ ද ඔවුහු ම ය ජය ලද්දෝ. තවද, ඔවුනට පසු ව පැමිණි උදවිය 'අපගේ පරමාධිපතියාණනි, අපට ද අපට පෙර විශ්වාස කළ අපගේ සහෝදරයින්ට ද ක්ෂමාව දෙනු මැනව! තවද, විශ්වාසවන්තයින් කෙරෙහි අපගේ හදවත්හි කිසිදු ද්වේෂයක් ඇති නො කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ම ඔබ ඉතා සානුකම්පිත ය; පරම කරුණාභරිත ය' යනුවෙන් පවසති." (සූරා අල්හෂ්ර් - 8,9,10)
2. සියලු ම සහාබාවරුන්ට “රළියල්ලාහු අන්හු” (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ ඔහු කෙරෙහි තෘප්තිමත් වෙත්වා!) යනුවෙන් පැවසීම.
කිසියම් සහාබාවරයෙකු පිළිබඳ සඳහන් කරන විට “රළියල්ලාහු අන්හු” (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ ඔහු කෙරෙහි තෘප්තිමත් වෙත්වා!) යනුවෙන් පැවසීම අනිවාර්ය වේ. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ඔවුන් කෙරෙහි තෘප්තිමත් වූ බව ද, ඔවුන්ගේ අවනත වීම හා යහක්‍රියා පිළිගත් බව ද, එමෙන් ම සහාබාවරුන් ද, තමන්ට මෙලොව පිරිනැමූ හා පරලොව දී පිරිනැමීමට නියමිත සියලු ම දායාද සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි තෘප්තිමත් වූ බව ද සඳහන් කොට ඇත. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “මුහාජිර්වරුන්ගෙන් ද අන්සාර්වරුන්ගෙන් ද (ඉස්ලාමය වැළඳ ගැනීමට) පළමුව පෙරටුවූවන් හා යහපත් කරුණුවල දී ඔවුන් ව පිළිපැද්දවුන් පිළිබඳ ව අල්ලාහ් දෙවිඳාණෝ තෘප්තියට පත් වූහ. ඔහු පිළිබඳ ව ද ඔවුහු තෘප්තියට පත්වූහ. තව ද, ඔවුන් වෙනුවෙන් උන්වහන්සේ (ස්වර්ගයේ) උයන් සූදානම් කර ඇත්තාහ. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. ඔවුහු එහි සදාකාලික ව ජීවත් වෙති. ඉමහත් වූ ජයග‍්‍රහණය එය යි.” (සූරා අත්තව්බා - 100)
සහාබිවරුන්ගේ තරාතිරම
1. දේව දූත මුහම්මද්තුමාණන්ගේ සහාබාවරු සියල්ලෝ ම ශ්‍රේෂ්ඨ හා උදාර පුද්ගලයෝ වෙති. නමුත්, ඔවුන් අතුරින් වඩත් ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ කුලෆාඋර් රාශිදූන් යන දැහැමි පාලකයින් සිව්දෙනා ය. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය අනුව ඔවුන් ව මෙසේ පෙළගැස්විය හැකි ය. අබු බක්ර් අස්සිද්දීක්තුමා, උමර් බින් කත්තාබ්තුමා, උස්මාන් බින් අෆ්ෆාන්තුමා හා අලී බින් අබී තාලිබ්තුමා (රළියල්ලාහු අන්හුම්).
2. සහාබාවරු දේව දූතයින් මෙන් මඃසූම් හෙවත් කිසිදු පාපයක් හෝ වරදක් නො කරන උදවිය නො වෙති, යනුවෙන් සිතීම. මිනිසුන් වශයෙන් ඔවුන් අතින් ද පාපයන් හා වැරදීම් සිදු විය හැකි ය. නමුත්, අන් අයගේ පාපයන් හා වැරදිවලට වඩා මොවුන්ගේ පාපයන් හා වැරදි අල්ප ය. එමෙන් ම, අන් අයගේ යහක්‍රියා හා නිවැරදි දේවල්වලට වඩා මොවුන්ගේ යහක්‍රියා හා නිවැරදි දෑ අධික ය. තවද, දේව දූත මුහම්මද්තුමාණන් සමඟ එකට සිටීමට හා මෙම දහම ආරක්ෂා කොට ඊළඟ පරම්පරාවට ලබා දීමට උත්තරිතර අල්ලාහ් දෙවිඳාණන් විසින් මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨතම උදවිය වන ඔවුහු තෝරා ගනු ලැබූහ. “මාගේ සමාජයෙන් ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ, මා දූතයෙකු වශයෙන් යවනු ලැබූ කාලවකවානුවේ දී සිටි උදවිය යි. ඉන් පසු ව ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ, ඔවුන්ගෙන් පසුව පැමිණි උදවිය යි. ඊටත් පසු ව ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ, ඔවුන්ගෙනුත් පසුව පැමිණි උදවිය යි.” (මූලාශ්‍රය: මුස්ලිම් - 2534)
3. සියලු ම සහාබාවරුන් යුක්තිසහගත හා සැදැහැවත් උදවිය යැයි අපි සාක්ෂි දැරිය යුතු වෙමු. ඔවුන්ගේ යහ ගුණාංග හා යහපත් දෑ පමණක් සිහිපත් කළ යුතු අතර, ඔවුනතර සිදු වූ අත්වැරදීම් හා මතභේද පිළිබඳ නිතර නිතර අනවශ්‍ය ලෙස කතාබහ කිරීමෙන් වැළකී සිටිය යුතු ය. මන්ද, ඒ සියල්ල අභිබවා යන අයුරින් ඔවුන් තුළ සැබෑ විශ්වාසය, යහපත් ක්‍රියා හා දහමට අවනත ව කටයුතු කිරීම යනාදී ගුණාංග තිබුණි. මේ පිළිබඳ දේව දූත මුහම්මද්තුමාණන් මෙසේ ප්‍රකාශ කොට ඇත. “මාගේ සහාබාවරුන්ට ඔබලා අපහාස නො කරන්න. ඔබලාගෙන් කෙනෙකු උහද් කඳු වැටියෙහි ප්‍රමාණයට රත්තරං දන් දුන්න ද, ඔවුන්ගෙන් කෙනෙකුගේ අත්ලෙහි ප්‍රමාණයට හෝ ඊටත් අඩක ප්‍රමාණයට හෝ සමාන නො වේ.” (මූලාශ්‍රය: බුහාරි - 3740)
දේව දූත මුහම්මද්තුමාණන්ගේ පවුලේ උදවිය යනුවෙන් හැඳින්වෙන්නේ එතුමාණන්ගේ භාර්යාවන්, දරුවන් හා ඔවුන්ගේ පරම්පරාව ඇතුළු එතුමාණන්ගේ පියාගේ සහෝදරයින්ගේ දරුවන් වන අලි, අකීල්, ජඃෆර් හා අබ්බාස් (රළියල්ලාහු අන්හුම්) යන සහාබාවරුන්ගේ පවුලේ උදවිය හා ඔවුන්ගේ පරම්පරාව යි.
ඔවුන් අතුරින් ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ දේව දූත මුහම්මද්තුමාණන් ව හමු වූ උදවිය වන අලී බින් අබූ තාලිබ් හා දේව දූතයාණන්ගේ දියණිය වන ෆාතිමාතුමිය ද, ස්වර්ගයේ තරුණයින්ගේ නායකයින් දෙපළ වශයෙන් හැඳින්වෙන ඔවුන් දෙපළගේ දරුවන් වන හසන් හා හුසෙයින් හා උම්මහාතුල් මුඃමිනීන් යන දේව දූතයාණන්ගේ භාර්යාවන් වන කදීජාතුමිය හා ආයිෂාතුමිය ඇතුළු අනෙකුත් භාර්යාවන් ය (රළියල්ලාහු අන්හුම්).
තවද, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් දේව දූත මුහම්මද්තුමාණන්ගේ භාර්යාවන් පිළිබඳ මෙසේ ප්‍රකාශ කොට ඇත. “(දේව දූතයාණන්ගේ) නිවැසියනි! සැබැවින් ම අල්ලාහ් දෙවිඳාණන් අපේක්ෂා කරන්නේ ඔබලාගෙන් සියලු අපවිත්‍ර දෑ පහ කොට, ඔබලා ව සම්පූර්ණයෙන් ම පරිශුද්ධ කිරීමට ය.” (සූරා අල් අහ්සාබ් - 33)
දේව දූත මුහම්මද්තුමාණන්ගේ පවුලේ උදවිය කෙරෙහි ආදරය හා සෙනෙහස දැක්වීම.
මුස්ලිම්වරයෙකු නබි (සල්) තුමාගේ පවුලේ උදවියට ආදරය කරයි, මන්ද ඔවුන් ඔහුගේ සුන්නාහ්ව විශ්වාස කරන්නන් සහ අනුගාමිකයින් වන බැවිනි. තවද, අල්ලාහ්ගේ දූතයාණන්ගේ හදීසයට අනුව, ඔහු තම පවුලේ අයව වගකීමෙන් යුතුව රැකබලා ගැනීමට සහ ඔවුන්ට යහපත් වීමට, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ඇති ඔහුගේ ආදරයේ කොටසක් බවට පත් කරයි: "මගේ පවුලේ සාමාජිකයන්ට (ඔබේ යුතුකම්) සම්බන්ධයෙන් මම ඔබට අල්ලාහ් මතක් කරමි. මගේ පවුලේ සාමාජිකයන්ට (ඔබේ යුතුකම්) සම්බන්ධයෙන් මම ඔබට අල්ලාහ් මතක් කරමි. මගේ පවුලේ සාමාජිකයන්ට (ඔබේ යුතුකම්) සම්බන්ධයෙන් මම ඔබට අල්ලාහ් මතක් කරමි." (මුස්ලිම් 2408). එය හරියට වගකිව යුතු පියෙක් තම දරුවන් සම්බන්ධයෙන් මෙසේ පවසන්නා සේ ය: "මගේ දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මම ඔබට අල්ලාහ් ව මතක් කරමි."
දේව දූතයාණන්ගේ පවුලේ උදවිය හා සම්බන්ධ විෂයෙහි පාර්ශව දෙකක් පිළිබඳ මුස්ලිම්වරුන්ට වගකීමක් නොමැත.
දේව දූතයින් මෙන් නබිතුමාණන්ගේ පවුලේ උදවිය මඃසූව්ම් තත්ත්වයට පත් වූ හෙවත් පව් නො කරන හා වැරදි නො කරන උදවිය නො වෙති.
අනෙකුත් පරම්පරාවල සිටින්නාක් මෙන් ඔවුන් අතුරින් ද මුස්ලිම්, මුස්ලිම් නො වන, යහපත් හා අයහපත් පුද්ගලයින් වැනි විවිධ උදවිය සිටිති. ඔවුන්ගෙන් ධර්මයෙහි පිහිටා කටයුතු කරන උදවිය කෙරෙහි ආදරය හා සෙනෙහස දැක්විය යුතු අතර, ධර්මයට පිටුපා කටයුතු කරන උදවිය පිළිබඳ සැලකිලිමත් වීම හා ඔවුනට යහමඟ ලැබිය යුතු යැයි ප්‍රාර්ථනා කළ යුතු ය. දේව දූතයාණන්ගේ පවුලේ උදවිය ඉතා උසස් උදවිය යන්නෙහි අදහස සෑම අවස්ථාවක ම, සෑම තත්ත්වයක ම හා සෑම පුද්ගලයෙකුට ම වඩා ඔවුන් උසස් යන්න නො වේ. ඔවුනට වඩා උසස් හා යහපත් උදවිය ද සිටිය හැකි ය.