දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම උතුම් අල් කුර්ආනයෙහි මහිමය හා ශ්‍රේෂ්ඨත්වය

ශුද්ධ වූ අල්කුර්ආනයේ නිලය හා ගෞරවය පැහැදිලි කරන මහිම රාශියක් ඇත. ඉන් ස්වල්යක් ගැන මෙම පාඩමේදී ඔබ ඉගෙන ගනු ඇත.

  • ශුද්ධ වූ අල්කුර්ආනයේ මහිමයන් ගැන හඳුනා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

උතුම් අල් කුර්ආනයෙහි මහිමය හා ශ්‍රේෂ්ඨත්වය

උතුම් අල් කුර්ආනය සතු ව බොහෝ මහිමයන් ඇත.ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැක.

1. උතුම් අල් කුර්ආනය ඉගෙන ගෙන එය ඉගැන්වීමෙහි ශ්‍රේෂ්ඨත්වය

දේව දූත මුහම්මද්තුමාණන් පැවසූ බවට උස්මාන් බින් අෆ්ෆාන්තුමා මෙසේ වාර්තා කරයි. “ඔබලා අතුරින් ශ්‍රේෂ්ඨතමයා උතුම් අල් කුර්ආනය ඉගෙන ගෙන එය (අන් අයටත්) උගන්වන්නා ය.” (බුහාරි - 5027)

2. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ සුවිශේෂී උදවිය වන අහ්ලුල් කුර්ආන් (කුර්ආනීය උදවිය) වශයෙන් පත් වීම.

අනස් බින් මාලික්තුමා මෙසේ වාර්තා කරයි. “දේව දූත මුහම්මද්තුමාණෝ ‘උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට මිනිසුන් අතුරින් උන්වහන්සේගේ උදවියක් සිටිති’ යැයි දේශනා කළහ. එයට සහාබාවරු ඔවුන් කවරෙහු දැයි විමසූහ. එයට දේව දූතයාණෝ ‘ඔවුන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ සුවිශේෂී උදවිය වන අහ්ලුල් කුර්ආන් (කුර්ආනීය උදවිය) වෙති’ යැයි පිළිතුරු දුන්හ.” (ඉබ්නු මාජා - 215)

3. උතුම් අල් කුර්ආනයෙහි එක් අකුරක් කියවීම වෙනුවෙන් වැඩිවැඩියෙන් ආනිශංස හිමි වීම.

දේව දූතයාණන් පැවසූ බවට අබ්දුල්ලාහ් බින් මස්ඌද්තුමා මෙසේ වාර්තා කරයි. “කවරෙකු උතුම් අල් කුර්ආනයෙහි එක් අකුරක් කියවන්නේ ද ඔහුට ඒ සඳහා හිමි යහපත් ක්‍රියාව මෙන් දහ ගුණයක් හිමි වේ. ‘අලිෆ් ලාම් මීම්’ යනු එක් අකුරක් යැයි මම නොපවසමි. අලිෆ් එක් අකුරකි; ලාම් එක් අකුරකි; මීම් එක් අකුරකි.” (තිර්මිදි - 2910)

4. උතුම් අල් කුර්ආනය කියවන හා හදාරන ස්ථානවලට මලාඉකාවරන්, සකීනාව (ශාන්ත භාවය හා සැනසීම) හා රහ්මතය (උන්වහන්ස්ගේ ආදරය හා කරුණාව) පහළ වීම.

දේව දූතයාණන් දේශනා කළ බවට අබූ හුරෙයිරාතුමා මෙසේ වාර්තා කරයි. “උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ නිවහන්වලින් එක් නිවහනක යම් පිරිසක් එ්කරාශී වී උතුම් අල් කුර්ආනය කියවමින් හා හදාරමින් සිටින්නේ ද, ඔවුන් කෙරෙහි සකීනාව (ශාන්ත භාවය හා සැනසීම) පහළ වේ; රහ්මතය (උන්වහන්ස්ගේ ආදරය හා කරුණාව) ඔවුන් ව වෙලා ගනී; මලාඉකාවරු (පහළ වී) ඔවුන් වටා සිටිති; උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් උන්වහන්සේ සමඟ සිටින්නන් (මලාඉකාවරුන්) හට මොවුන් පිළිබඳ (ප්‍රශංසා මුඛයෙන්) සඳහන් කරති.” (මුස්ලිම් - 2699)

5. විනිශ්චය දිනයේ දී උතුම් අල් කුර්ආනය එය කියවන උදවිය වෙනුවෙන් මැදිහත්කරුවෙකු වශයෙන් පෙනී සිටීම.

දේව දූතයාණන් ප්‍රකාශ කළ බවට අබූ උමාමා අල්බාහිලියිතුමා මෙසේ වාර්තා කරයි. “ඔබලා උතුම් අල් කුර්ආනය කියවන්න. නියත වශයෙන් ම, විනිශ්චය දිනයේ දී උතුම් අල් කුර්ආනය එය කියවන උදවිය වෙනුවෙන් මැදිහත්කරුවෙකු වශයෙන් පෙනී සිටියි.” (මුස්ලිම් - 804)

6. උතුම් අල් කුර්ආනය නිවැරදි ව හා පහසුවෙන් කියවීමට දත් උදවිය මලාඉකාවරුන් සමඟ සිටිමේ භාග්‍යය හිමි වීම සහ උතුම් අල් කුර්ආනය අපහසුවෙන් කියවන උදවියට ආනිශංස දෙකක් හිමි වීම.

දේව දූතයාණන් දේශනා කළ බවට ආයිෂාතුමිය මෙසේ වාර්තා කරයි. “උතුම් අල් කුර්ආනය නිවැරදි ව හා පහසුවෙන් කියවීමට දත් උදවිය සුවච කීකරු හා ගෞරවණීය දූතයින් (මලාඉකාවරුන්) සමඟ සිටිති. එමෙන් ම, උතුම් අල් කුර්ආනය කියවීමේ දී වරද්දමින් හා අපහසුවෙන් යුතු ව කියවන උදවිය හට ආනිශංස දෙකක් හිමි වේ.” (මුස්ලිම් - 798)

7. උතුම් අල් කුර්ආනය, එහි උදවිය ව ඉතා උසස් හා ගෞරවණීය පුද්ගලයින් බවට පත් කිරීම.

දේව දූතයාණන් දේශනා කළ බවට උමර් බින් හත්තාබ්තුමා මෙසේ වාර්තා කරයි. “නියත වශයෙන් ම, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙම ග්‍රන්ථය (අල් කුර්ආනය) මඟින් පිරිසක් ගෞරවයට පාත්‍ර කරන අතර, තවත් පිරිසක් අගෞරවයට පාත්‍ර කරති.” (මුස්ලිම් - 817)

8. උතුම් අල් කුර්ආනය කටපාඩම් කළ උදවිය, තම සිතහෙි තැන්පත් ව ඇති කුර්ආනයේ ප්‍රමාණය අනුව ස්වර්ගයෙහි තරාතිරම් අතුරින් උසස් තරාතිරම් හිමි වීම.

දේව දූතයාණන් දේශනා කළ බවට අබ්දුල්ලාහ් බින් අම්ර් බින් ආස්තුමා මෙසේ වාර්තා කරයි. “කුර්ආනීය පුද්ගලයා හට (විනිශ්චය දිනයේ දී) ‘කියවන්න; (තරාතිරම්හි) ඉහළට යන්න; ලෝකයෙහි ඔබ (කුර්ආනය) අලංකාර ව හා නිවැරදි ව කියවූවා සේ (මෙහි ද) ඔබ (කුර්ආනය) අලංකාර ව හා නිවැරදි ව කියවන්න. නියත වශයෙන් ම, ඔබට හිමි තරාතිරම ඔබ කියවන අවසන් වැකියෙහි ඇත’ යනුවෙන් පවසනු ලැබේ.” (අබූ දාවුද් - 1464)

9. විනිශ්චය දිනයේ දී කුර්ආනීය පුද්ගලයා හට ගෞරවණීය වස්ත්‍රයක් හා ඔටුන්නක් පළඳවනු ලැබීම.

දේව දූතයාණන් දේශනා කළ බවට අබූ හුරෙයිරාතුමා මෙසේ වාර්තා කරයි. “විනිශ්චය දිනයේ දී කුර්ආනීය පුද්ගලයා පැමිණෙයි. එම අවස්ථාවේ දී, උතුම් අල් කුර්ආනය ‘පරමාධිපතියාණෙනි, මොහු ව අලංකාර කරන්න’ යැයි පවසයි. ඒ අනුව, ඔහුට කරාමා නමැති (අලංකාර) ඔටුන්නක් පළඳවනු ලැබේ. පසු ව, ‘මොහු ව තවත් අලංකාර කරන්න’ යැයි පවසයි. ඒ අනුව, ඔහුට කරාමා නමැති (ගෞරවණීය) ඇඳුමක් පළඳවනු ලැබේ. පසු ව, ‘පරමාධිපතියාණෙනි, මොහු කෙරෙහි ඔබවහන්සේ තෘප්තිමත් වනු මැනව!’ යැයි පවසයි. ඒ අනුව, උන්වහන්සේ ඔහු කෙරෙහි තෘප්තිමත් වෙති. පසු ව ඔහුට ‘(අල් කුර්ආනය) කියවන්න; (තරාතිරම්හි) ඉහළට යන්න’ යැයි පවසනු ලැබේ. ඔහු කියවන සෑම කුර්ආන් වැකියකින් ම (ඔහුට) යහපතක් අත් වේ.” (තිර්මිදි - 2915)

10. කුර්ආනීය පුද්ගලයාගේ දෙමව්පියන් ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විවිධ අයුරින් ගෞරවයට පාත්‍ර කිරීම.

දේව දූතයාණන් දේශනා කළ බවට මුආද් අල්ජුහනිතුමා මෙසේ වාර්තා කරයි. “කවරෙකු උතුම් අල් කුර්ආනය කියවා, ඒ් අනුව කටයුතු කරන්නේ ද විනිශ්චය දිනයේ දී ඔහුගේ දෙමව්පියන්ට ඔටුන්නක් පළඳවනු ලැබේ. එහි ආලෝකය, මෙලොව නිවාසවල ඇති සූර්ය ආලෝකයට වඩා දීප්තිමත් ය. එනිසා, (එලෙස කටයුතු කළ පුද්ගලයාගේ දෙමව්පියන්ට හිමි ගරුත්වය ම මෙසේ නම්) එලෙස කටයුතු කළ පුද්ගලයා (හට හිමි ගරුත්වය) පිළිබඳ ඔබලා කුමක් සිතන්නෙහු ද?” (අබූ දාවුද් - 1453)

11. උතුම් අල් කුර්ආනය කියවීම, කටපාඩම් කිරීම හා එය හැදෑරීම මෙලොව හා එහි ඇති සියලු ම දේවල්වලට වඩා උසස් ය.

උක්බා බින් ආමිර්තුමා මෙසේ වාර්තා කරයි. “අපි සුෆ්හාහි (මක්කම සිට පැමිණි දුප්පත් මුස්ලිම්වරුන් මස්ජිදුන් නබවි හෙවත් මදීනාවේ පිහිටි දේව දූතයාණන්ගේ දේවස්ථානයෙහි ඒකරාශී වන ස්ථානය) සිටින අවස්ථාවේ දී දේව දූතයාණෝ පැමිණ ‘සෑම දිනක ම උදෑසන (ඔටුවන් විකුණනු ලබන ප්‍රසිද්ධ වෙළඳපොළවල් වන) බුත්හා හා අකීක් වෙත ගොස්, කිසිදු අකටයුතුකමක් හෝ ඥාති සබඳතා පළුදු කිරීමක් නොකර, ඉහළ වටිනාකමකින් යුත් හොඳින් වැඩුණු ඔටුවන් දෙදෙනෙකු රැගෙන ඒමට ඔබලා අතුරින් කවරෙකු කැමති වන්නේ ද?’ යැයි විමසූහ. එයට අපි ‘අප සියල්ලන් ම ඒ සඳහා කැමති වෙති’යි පැවසුවෙමු. පසු ව, දේව දූතයාණෝ ‘(එසේ නම්,) ඔබලා අතුරින් කෙනෙක් උදෑසන ම මස්ජිදය වෙත ගොස්, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ ධර්ම ග්‍රන්ථයෙන් වැකි දෙකක් ඉගෙන ගැනීම හෝ කියවීම නොකරන්නේ ද? එසේ කිරීම, එවැනි ඔටුවන් දෙදෙනෙකුට වඩා ඔහුට යහපත් ය. එමෙන් ම, වැකි තුනක් කියවීම හෝ ඉගෙන ගැනීම ඔටුවන් තිදෙනෙකුට වඩා ඔහුට යහපත් ය. එමෙන් ම, වැකි හතරක් කියවීම හෝ ඉගෙන ගැනීම ඔටුවන් හතරකට වඩා ඔහුට යහපත් ය. මෙලෙස, ඔටුවන්ගේ ගණනට වඩා වැකිවල ගණන ඔහුට යහපත් ය’ යනුවෙන් පැවසූහ.” (මුස්ලිම් - 803)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.