දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාමයන් හා උතුම් ගුණාංග පිළිබඳ විශ්වාස කිරීම

සර්වබලධාරී දෙවියන්ගේ අලංකාර නාමයෙන් සහ උතුම් ගුණාංගවලින් ඔහුව දැන ගැනීම සහ අපගේ අවශ්‍යතා අනුව සර්වබලධාරි දෙවියන් ව කන්නලව් කිරීම ශ්‍රද්ධාව වැඩි කරන ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් අතර වේ. මෙම පාඩමේදී ඔබ ඒ ගැන යමක් ඉගෙන ගනු ඇත.

  • තව්හීද් අල් අස්මා වස්සිෆාත් (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාමයන් හා උතුම් ගුණාංගයන්හි උන්වහන්සේගේ ඒකීයත්වය) පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
  • අල් අස්මා වස්සිෆාත් (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාම හා උතුම් ගුණාංග) පිළිබඳ අහ්ලුස් සුන්නා වල්ජමාආවරුන්(උතුම් අල් කුර්ආනය හා දේව දූත මුහම්මද්තුමාණන්ගේ මඟ පෙන්වීම් අනුව ජීවත්  වූ සහාබාවරුන් හෙවත් එතුමාණන්ගේ සහගාමීන් ඇතුළු සැදැහැවත් උදවිය)ගේ ස්ථාවරය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම.
  • උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාමයන් කිහිපයක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

අල් අස්මා වස්සිෆාත් (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාම හා උතුම් ගුණාංග) පිළිබඳ විශ්වාස කිරීම.

මිනිසා හට තම ‍පරමාධිපතියාණන් හා මැවුම්කරුවාණන් පිළිබඳ හඳුන්වා දීම පිණිස උතුම් අල් කුර්ආනයේ වැකි බොහෝමයක් සඳහන් වේ. මන්ද, තම පරමාධිපතියාණන්ගේ අලංකාර හා උතුම් ගුණාංග පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම මුස්ලිම්වරයෙකුට ඉතා අත්‍යාවශ්‍ය ය. එමෙන් ම, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව මනා අවබෝධයකින් හා පැහැදීමකින් යුතු ව නැමදුම් කිරීම සඳහාත්, උන්වහන්සේගේ අලංකාර නාමයන් හා උතුම් ගුණාංගයන්හි අන්තර්ගත දෑ සහ ඒවායින් තම ජීවිතයට හා නැමදුම් කටයුතුවලට ඇති කරන බලපෑමට අනුව ජීවත් වීම සඳහාත් එය මනා පිටිවහලක් වනු ඇත.

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් උතුම් අල් කුර්ආනයේ හෝ දේව දූත මුහම්මද්තුමාණන්ගේ සුන්නා හෙවත් මඟපෙන්වීම්හි සඳහන් කර ඇති, උන්වහන්සේ හට පමණක් හිමි අලංකාර නාම හා උතුම් ගුණාංග පිළිබඳ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට හා ස්වභාවයට උචිත අයුරින් විශ්වාස කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ.

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට ඉතා අලංකාර නාම හා පරිපූර්ණ ගුණාංග හිමි ය. උන්වහන්සේගේ නාමයන්ට හා ගුණාංගවලට සමාන වෙනත් කිසිදු නාමයක් හෝ ගුණාංගයක් නොමැත. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට සමාන කිසිවක් නොමැත. උන්වහන්සේ සර්ව ශ්‍රාවක හා සර්ව නිරීක්ෂක ය.” (සූරා අෂ්ෂූරා - 11). තවද, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ තම අලංකාර නාම හා ගුණාංගයන්හි, තමන්ට සමාන කිසියම් හෝ දෙයක්, තම මැවීම් අතුරින් තිබීම තරයේ ප්‍රතික්ෂේප කරති.

“අල්ලාහ් යැයි හෝ අර්රහ්මාන් (අපරිමිත දයාන්විතයාණන්) යැයි අමතන්න. ඔබලා (මෙම නම් දෙක අතුරින්) කුමන නමකින් ඇමතුව ද එය යහපත් ය. උත්තරීතර අල්ලාහ්ට (තවත් බොහෝ) අලංකාර නාමයන් ඇත යනුවෙන් (නබිතුමනි) ඔබ (ඔවුනට) පවසන්න.” (අල් ඉස්රා: 110)

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාම කිහිපයක් මෙසේ පහතින් දක්වමු.

අසමසම කරුණාන්විතයාණෝ සහ අපරිමිත දයාන්විතයාණෝ

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් තම පුස්තකය වන උතුම් අල් කුර්ආනය ආරම්භ කරනු ලැබුවේ ද, තම ගැත්තන්ට තමා ව ප්‍රථමයෙන් ම හඳුන්වා දෙනු ලැබුවේ ද අල්ලාහ්ගේ මෙම නාම දෙක මඟිනි. එමෙන් ම, (උතුම් අල් කුර්ආනය කියවීමට ප්‍රථම) අප පවසන “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්”(අසමසම කරුණාන්විත අපරිමිත දයාන්විත උත්තරීතර අල්ලාහ්ගේ නාමයෙන්) යන ප්‍රකාශයෙහි, යහමඟ සහ කුර්ආනීය පැහැදිළි කිරීම් අන්තර්ගත සෑම සූරාවක ම ආරම්භය සනිටුහන් කරන මාතෘකාවක් ලෙස උන්වහන්සේ එම නාම දෙක යොදා ඇත.

රහ්මතය (ආදරය හා කරුණාව) තමන් හට අනිවාර්ය කර ගැනීම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ වඩාත් ප්‍රිය කරති. අල්ලාහ් දෙවිඳුන්ගේ රහ්මතය සෑම දෙයක ම අන්තර්ගත ය. එය කෙතරම් ද යත්, මැවීම් අතර ඇති ආදරය හා කරුණාව, මවක් තම දරුවා කෙරෙහි දක්වන ආදරය හා කරුණාව, අල්ලාහ් විසින් තම මැවීම් සියල්ලට ම ආහාර සැපයීම යනාදී මේ සියල්ල ම මැවීම් කෙරෙහි ඇති අල්ලාහ් දෙවිඳුන්ගේ රහ්මතය (ආදරය හා කරුණාවෙහි) සංකේතයකි. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ ප්‍රකාශ කරති. “උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ රහ්මතය හෙවත් ආදරය හා කරුණාවෙහි සංකේත දෙස නුඹලා (නිරීක්ෂණය කර) බලවු. ඔහු භූමිය (වියළී) නැසී ගිය පසු එය ප්‍රාණවත් කරන්නේ කෙසේ ද?” (සූරා අර්රූම් - 50)

කාන්තාවක් හැඩූ කඳුළින් යුතු ව නැති වූ තම කුඩා බිළිඳා සොයමින් සිටියා ය. පසුව ඇයට නැති වූ තම බිළිඳා ලැබුණි. එවිගස ම, ඇය තම බිළිඳා පපුවට තුරුළු කරගෙන කිරි පෙව්වා ය. මෙය දුටු දේව දූත මුහම්මද්තුමාණෝ “මෙම කාන්තාව තම බිළිඳා ගින්නට විසි කරනු ඇතැයි ඔබලා සිතන්නෙහු දැ?”යි තම සහගාමීන්ගෙන් විමසූහ. එයට ඔවුහු “කිසිසේත් ම ඇය එසේ නො කරනු ඇතැ”යි පිළිතුරු දුන්හ. එවිට නබි නායකතුමාණෝ “මෙම කාන්තාව තම දරුවා කෙරෙහි දක්වන ආදරය හා කරුණාවට වඩා උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් තම ගැත්තන් කෙරෙහි ආදරය හා කරුණාව දක්වති” යැයි පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි - 5653 සහ මුස්ලිම් - 2754)

එනිසා, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ රහ්මතය (ආදරය හා කරුණාව) ඉතා උසස් හා ශ්‍රේෂ්ඨ ය. එය අපගේ පරිකල්පනයට පරිබාහිර ය. උන්වහන්සේගේ රහ්මතය හෙවත් ආදරය හා කරුණාවේ ප්‍රමාණය ගැත්තන් දන්නේ නම් කිසිවෙකුත් උන්වහන්සේගේ රහ්මතය (ආදරය හා කරුණාව) පිළිබඳ අපේක්ෂා භංගත්වයට පත්නො වනු ඇත.

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ රහ්මතය හෙවත් ආදරය හා කරුණාවෙහි වර්ග දෙකක් ඇත.

١
1- මිනිසුන්, සත්ත්වයින් ඇතුළු ජීවී අජීවී සියල්ලට ම හිමි අල්ලාහ්ගේ රහ්මතය. එමඟින් අත්වන්නේ ලෞකික කටයුතුවල පහසුව යි.මේ පිළිබඳ උතුම් කුරානයේ මෙලෙස සඳහන් වේ. "අපගේ පරමාධිපතියාණෙනි! ඔබ ඔබගේ පරම දයාවෙන් සහ දැනුමෙන් සෑම දෙයක් ම වැළඳ ගත්තෙහිය" (ඝාෆිර්: 7)
٢
2- මුඃමින්වරුන් (විශ්වාසවන්තයින්) හට හිමි සුවිශේෂී රහ්මතය. එමඟින් ඔවුනට අල්ලාහ් දෙවිඳුන්ට අවනත වීමට උන්වහන්සේගේ ආශිර්වාදය හා උපකාරය ද යහපත් දෑ පහසු කර දීම හා එම යහපත් කටයුතුවල ස්ථාවරත්වය ද අත් වේ. පාපක්ෂමාව ලබා දීමෙන් හා අපා ගින්නෙන් ඔවුන් ආරක්ෂා කොට ස්වර්ගයට පිවිසීමට සැලැස්වීමෙන් ඔවුනට හිමි අල්ලාහ්ගේ රහ්මතය (ආදරය හා කරුණාව) උන්වහන්සේ මුළුමනින් ම දක්වනු ඇත.මේ පිළිබඳ උතුම් කුරානයේ මෙලෙස සඳහන් වේ."ඔහු (අල්ලාහ්) විශ්වාසිකයින් කෙරෙහි අසමසම කරුණාන්විත විය. ඔවුන් ඔහු හමුවන දින ඔවුන්ගේ ආචාරය සලාම් (සාමය) යන්නයි තවද ඔහු ඔවුන් සඳහා ගෞරවණීය තිළිණ සූදානම් කර ඇත." (අල් අහ්සාබ් 43-44)

නබි නායකතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. “ 'දැනගන්න, ඔබලාගෙන් කිසිවෙකුටත් යහක්‍රියා ඉටු කිරීම මඟින් පමණක් ස්වර්ගයට පිවිසිය නො හැකි ය.' එවිට නබිතුමාණන්ගේ සහගාමීහු ‘ඔබතුමාණන්ටත් නො හැකි දැ?’යි විමසූහ. එයට නබිතුමාණෝ ‘උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ රහ්මතයෙන් තොර ව මා හටත් (ස්වර්ගයට පිවිසිය) නො හැකි ය.’ යැයි පිළිතුරු දුන්හ.” (මූලාශ්‍රය: මුස්ලිම් - 2816)

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි ඇති කීකරුකම, යටහත් පහත්භාවය සහ උන්වහන්සේ කෙරෙහි අවනත වීම, සමීප වීම යනාදී ගුණාංග තව තවත් වැඩි වන විට උන්වහන්සේගේ රහ්මතයෙන් ගැත්තාට හිමි විය යුතු ප්‍රමාණය ද වැඩි වනු ඇත. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “සැබැවින් ම, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ රහ්මතය (ආදරය හා කරුණාව) යහකම් කරන්නන් හට වඩාත් සමීප ය.” (සූරා අල් අඃරාෆ් - 56)

සියල්ල ශ්‍රවණය කරන්නාණෝ සහ සියල්ල නිරීක්ෂණය කරන්නාණෝ

ඔබ කුමන භාෂාවකින් ආමන්ත්‍රණය කළ ද කුමන අවශ්‍යතාවක් ඉල්ලා සිටිය ද ශබ්ද නගා හෝ රහසිගත ව ඉල්ලා සිටිය ද, නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ ඒ සියල්ල ශ්‍රවණය කරන්නෝය. සමහරක් අනුවණ උදවිය තමන් රහසින් කතා බහ කරගන්නා දෑ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට නෑසේ යැයි සිතාගෙන සිටියහ. එම අවස්ථාවේ දී ඔවුනට අවවාදාත්මක අයුරින් පහත උතුම් අල් කුර්ආන් වැකිය පහළ විය. “සැබැවින් ම අපි ඔවුන්ගේ (සිත් තුළ ඇති) රහස් හා (ඔවුනතර පමණක් සිදු කරන) ඔවුන්ගේ රහසිගත සාකච්ඡා කෙරෙහි අප සවන් නො දෙමු යැයි ඔවුහු සිතන්නෝ ද? කිසිසේත් ම එය එසේ නො වේ. නියත වශයෙන් ම, ඔවුන් සමීපයෙහි සිටින අපගේ මලක්වරු (දූතයෝ) ඒ සියල්ලක් ම සටහන් කරමින් සිටිති.” (සූරා අස් සුක්රුෆ් - 80)

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ සියල්ල නිරීක්ෂණය කරති. අංශු මාත්‍රයක දෙයක් හෝ උන්වහන්සේගේ නිරීක්ෂණයෙන් හා දෘෂ්ටියෙන් බැහැර නො වේ. උන්වහන්සේගෙන් කිසිවක් සැඟවිය නො හැකි ය. කිසිවක් ශ්‍රවණය කළ නොහැකි හා කිසිවක් නිරීක්ෂණය කළ නොහැකි පිළිමයකට වැඳුම් පිඳුම් කරන තම පියාගේ එම ක්‍රියාව දේව දූත ඉබ්රාහීම්තුමාණෝ විවේචනය කළහ. ඒ පිළිබඳ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් වේ. “ඔහු තම පියාණන්ගෙන් ‘මගේ පියාණෙනි! කිසිවක් බැලීමට හෝ සවන් දීමට හෝ ඔබට කිසිදු ප්‍රයෝජනයක් අත්කර දීමට හෝ ශක්තියක් නොමැති දෑ ඔබ කුමක් නිසා නමදින්නෙහු ද?’ යැයි විමසුවේය.” (සූරා මර්යම් - 42)

අල්ලාහ් දෙවිඳාණන් සියල්ල ශ්‍රවණය කරන්නාණන් බවත්, සියල්ල නිරීක්ෂණය කරන්නාණන් බවත්, අහස්හි හා මහපොළොවේ ඇති අංශු මාත්‍රයක දෙයක් හෝ උන්වහන්සේගෙන් වසන් වී නොමැති බවත්, වසන් කරන ලද හා රහසිගත දෑ සියල්ල උන්වහන්සේ දන්නා බවත් ගැත්තා අවබෝධ කරගත්තේ නම්, ඔහුට “මුරාකබතුල්ලාහ්” එනම් “උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් තමන් ව නිරීක්ෂණය කරමින් සිටිති” යන සිතුවිල්ල ඇති වේ. එමඟින් බොරු කීම, අන් අයට බැණ වැදීම, අන් අයගේ අඩුපාඩු කතා කිරීම වැනි අයහපත් දේවල්වලින් තම දිව ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ කෝපයට තුඩු දෙන කරුණුවලින් තම අවයව හා සිතුවිලි ද ආරක්ෂා කරගැනීමට ඔහුට හැකි වේ. එමෙන් ම, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්, තමන්ගේ බාහිර හා අභ්‍යන්තර දෑ ද, තමන්ගේ රහස් හා තමන් ප්‍රසිද්ධියේ සිදු කළ හා සිදු කරන දෑ ද, යනාදී සියල්ල නිරීක්ෂණය කරන හෙයින්, තමන්ට උන්වහන්සේ පිරිනමා ඇති දායාද, හැකියා හා දක්ෂතා සියල්ල, ඔහු උන්වහන්සේගේ ආදරයට හා තෘප්තියට භාජනය වන අයුරින් භාවිත කරයි. මේ පිළිබඳ දේව දූත මුහම්මද්තුමාණන් මෙසේ ප්‍රකාශ කොට ඇත. “ඔබ, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් දෙස බලා සිටී යන සිතුවිල්ලෙන් යුතු ව උන්වහන්සේ හට නැමදුම් කිරීම. එසේ ඔබට අල්ලාහ් දෙවිඳුන් දෙස බලා සිටිය නො හැකි වුව ද නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ ඔබ දෙස බලා සිටිති.” (මූලාශ්‍රය: බුහාරි - 50, මුස්ලිම් - 09)

අමරණීයවන්තයාණෝ සර්ව පෝෂකයාණෝ

දැනුම්වත් බව, ශ්‍රවණය කිරීම, නිරීක්ෂණය කිරීම, ශක්තිමත් භාවය යනාදී උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ පරිපූර්ණ ගුණාංගවලින් යුක්ත, ආරම්භයක් අවසානයක් නොමැති, කිසිදු අඩුවකින් හෝ උෘනතාවයකින් තොර පරිපූර්ණ දිවියක් උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට ඇත. කවරෙකුට හෝ මෙවැනි ස්වභායකින් යුක්ත දිවියක් තිබෙන්නේ නම්, සැබැවින් ම ඔහු නැමදීමට, විශ්වාස කිරීමට හා තම කටයුතු භාර කිරීමට සුදුස්සා ය. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ පවසා ඇත. “මරණයක් නොමැති සදා අමරණීය අල්ලාහ් ව ඔබ විශ්වාස කරන්න.” (සූරා අල් ෆුර්කාන් - 58)

“සර්ව පෝෂකයාණෝ” යන නාමයෙන් කරුණු දෙකක් හැඟ වේ.

١
කිසිදු අවශ්‍යතාවකින් තොර පරිපූර්ණ ස්වාධීනත්වය. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “මිනිසුනි! නියත වශයෙන් ම ඔබලා උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ උදව් උපකාර කෙරෙහි අවශ්‍යතාව ඇත්තෝ වෙහු. (නමුත්) උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ කිසිදු අවශ්‍යතාවකින් තොර පැසසුම් ලබන්නාණෝ වෙති.” (සූරා ෆාතිර් - 15). උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට තම ගැත්තන්ගෙන් ද කිසිවක් අවශ්‍ය නො වේ. ගැත්තන් උන්වහන්සේ හට අවනත වීම හෝ පිටුපෑම හේතුවෙන්, උන්වහන්සේ හට කිසිදු ප්‍රයෝජනයක් හෝ අහිතක් ඇති නො වේ. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ. “කවරෙකු (අල්ලාහ්ගේ මාර්ගයේ) වෙහෙස මහන්සියෙන් කටයුතු කරන්නේ ද ඒ ඔහු වෙනුවෙන් ම ය. නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හට තම මැවීම්ගෙන් කිසිවක් අවශ්‍ය නො වේ.” (සූරා අල් අන්කබූත් - 06). “ඔබලා සහ මිහිතලයේ සිටින සියල්ලන් ම පාහේ (උත්තරීතර අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කළ ද සැබැවින් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ කිසිදු අවශ්‍යතාවකින් තොර පැසසුම් ලබන්නාණෝ වෙති.” (සූරා ඉබ්රාහීම් - 08)
٢
අල්ලාහ්ගේ බලයේ පරිපුර්ණත්වය සහ මැවීම කෙරෙහි ඔහුගේ පාලනය: ඔහු තම බලයෙන් මැවීම් පාලනය කරන අතර ආරක්ෂා කරයි. සියලු සත්ත්වයෝ ඔහු මත යැපෙති. මොහොතකට හෝ ඔහුගෙන් ස්වාධීනව සිටිය නො හැකි ය. ලෝකයේ පිළිවෙළට සහ ක්‍රියාකාරීත්වයට හා ජීවන ගමනට අදාළව පෙනෙන සෑම දෙයක් ම උන්වහන්සේගේ ඒකායන බලයේ ප්‍රතිඵලයකි. තමා සමඟ අන් අයව ආදේශ කරන්නන්ගේ ක්‍රියාවන් අල්ලාහ් ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසයි. "සෑම ආත්මයක් ම ඔවුන් ඉපැයූ දෑ සම්බන්ධයෙන් බාර ව සිටින (අල්ලාහ් වන) ඔහු (ඔවුන් දෙවිවරුන් යැයි පවසන දෑට සමාන) ද?" (අර් රඃද්:33). තවද උතරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "නියත වශයෙන් ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නො වන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසු ව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත." (ෆාතිර් : 41).

ප්‍රාර්ථනා කිරීමේ දී මෙම නාම දෙක එකකට එකක් බැඳී පැවතීම තුළ සුවිශේෂීත්වයක් දක්නට ඇත්තේ එම නිසා ය. දේව දූත මුහම්මද්තුමාණන්ගේ පහත ප්‍රාර්ථනාව ඊට කදිම නිදසුනකි. “සදා ජීවමානී ස්වාධීනවන්තයාණෙනි! ඔබගේ රහ්මතය (ආදරය හා කරුණාව) මඟින් මම ඔබෙන් අයාචනා කරමි.” (මූලාශය: අත්තිර්මිදි - 3524)

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාම සහ උතුම් ගුණාංග පිළිබඳ විශ්වාස කිරීමේ ප්‍රයෝජන.

١
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව නිවැරදි ව හඳුනාගැනීමට හැකි වීම. කවරෙකු උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාම හා උතුම් ගුණාංග පිළිබඳ මනා අවබෝධයකින් යුතු ව විශ්වාස කරන්නේ ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් පිළිබඳ ඔහුගේ අවබෝධය හා වැටහීම ද, උන්වහන්සේ පිළිබඳ විශ්වාසයේ ස්ථීරත්වය ද තව තවත් වැඩි වන අතර, උන්වහන්සේගේ ඒකීයත්වය පිළිබඳ විශ්වාසය ද තව තවත් ස්ථීර වනු නිසැක ය.
٢
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාම මඟින් අල්ලාහ් දෙවිඳුන් ව ප්‍රශංසා කිරීමට හැකි වීම. එසේ කිරීම උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව දික්ර් (මෙනෙහි) කිරීමේ ආකාර අතුරින් උසස් ම හා ශ්‍රේෂ්ඨතම ආකාරය යි. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ ඒ පිළිබඳ මෙසේ ප්‍රකාශ කරති. “විශ්වාසවන්තයිනි, නුඹලා අධික වශයෙන් අල්ලාහ් ව දික්ර් (මෙනෙහි) කරනු.” (සූරා අල් අහ්සාබ් - 41)
٣
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාම හා උතුම් ගුණාංග මඟින් උන්වහන්සේගෙන් ප්‍රාර්ථනා කිරීමට සහ අයැද සිටීමට හැකි වීම. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට අලංකාර නාමයන් ඇත. එබැවින් ඒවා මඟින් නුඔලා උන්වහන්සේගෙන් ප්‍රාර්ථනා කරනු” (සූරා අල් අඃරාෆ් - 180) නිදසුනක් ලෙස “පෝෂණය ලබා දෙන්නාණෙනි! මා හට පෝෂණය ලබා දෙනු මැනව! පාපක්ෂමාව ලබා දෙන්නාණෙනි! මාගේ පාපයන් කමා කරනු මැනව! කරුණාවන්තයාණෙනි! මා හට කරුණාව දක්වනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කිරීම දැක්විය හැකි ය.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.