දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ඉබාදාත් හෙවත් නැමදුමෙහි යථාර්ථය

ඉස්ලාම් දහම තුළ නැමදුමට විශාල තැනක් හිමි වේ. මෙම පාඩම එහි අර්ථය, යථාර්ථය, කුළුණු සහ නැමදුම විවිධාකාර වීම පිටුපස ඇති ප්‍රඥාව පිළිබඳ මෙම පාඩම තුළ ඉගැන්වේ.

  • නැමදුම යන්නෙහි අර්ථය සහ යථාර්ථය පිළිබඳ දැනුම.
  • එහි කුළුණු සහ වර්ග පිළිබඳ දැනුම.
  • එහි විවිධත්වයේ හේතු පිළිබඳ කරුණු ස්වල්පයක් දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ඉබාදත් හෙවත් නැමදීමෙහි අරුත

සලාතය, සකාතය (දුගී බද්ද) හා හජ් කර්තව්‍ය වැනි බාහිර ක්‍රියා ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව මෙනෙහි කිරීම, උන්වහන්සේට බිය වීම, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම හා උන්වහන්සේගෙන් උදව් උපකාර පැතීම වැනි අභ්‍යන්තර ක්‍රියා ද යනාදී උන්වහන්සේ ප්‍රිය කරන හා පිළිගන්නා වූ සියලු ම ක්‍රියා හා ප්‍රකාශ ඉබාදත් ලෙස හැඳින් වේ.

ඉබාදත් හෙවත් නැමදීමෙහි යථාර්ථය.

ඉබාදත් යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි ආදරය, ගෞරවය හා බැතිමත් භාවයෙන් යුතු පරිපූර්ණ අවනත වීමකි. එය මිනිසුන් හට පැවරී ඇති උන්වහන්සේට පමණක් හිමි අයිතියකි. සලාතය, සකාතය (දුගී බද්ද) හා හජ් කර්තව්‍ය වැනි බාහිර ක්‍රියා ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව මෙනෙහි කිරීම, උන්වහන්සේට බිය වීම, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම හා උන්වහන්සේගෙන් උදව් උපකාර පැතීම වැනි අභ්‍යන්තර ක්‍රියා ද යනාදී උන්වහන්සේ ප්‍රිය කරන හා පිළිගන්නා වූ සියලු ම ක්‍රියා හා ප්‍රකාශ ඉබාදත් යන්නෙහි අන්තර්ගත වේ.

මිනිසුන් හට ඉටු කිරීම පිණිස විවිධ ආකරයේ ඉබාදතයන් ලබා දී ඇත්තේ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ ආදරය හා කරුණාව හේතුවෙන් ය. එවැනි ඉබාදයන්ගෙන් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

١
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට ආදරය කිරීම, උන්වහන්සේට බිය වීම හා උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම යනාදී දෑ මනසින් ඉටු කරන ඉබාදත්. මෙවැනි ආකාරයේ ඉබාදත්, ඉබාදත් අතුරින් ශ්‍රේෂ්ඨතම හා උසස් ම ඉබාදත් වේ.
٢
ශරීරයෙන් ඉටු කරන ඉබාදත්. මෙහි දී උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව මෙනෙහි කිරීම, උතුම් අල් කුර්ආනය කියවීම හා යහපත් වචන කතා කිරීම වැනි දිවෙන් ඉටු කරන ඉබාදත් යනුවෙන් ද වුළූ කිරීම, උපවාසයේ නියැලීම, සලාතය ඉටු කිරීම හා මාර්ගයේ ඇති මිනිසුන්ට අවහිරයක් හා හානියක් ඇති කරන දෑ ඉවත් කිරීම වැනි අනෙකුත් ශරීර අවයවයන්ගෙන් ඉටු කරන ඉබාදත් යනුවෙන් කොටස් දෙකක් ඇත.
٣
යහපත් කටයුතුවලට වියදම් කිරීම, සදකා කිරීම හෙවත් දන් දීම හා සකාත් හෙවත් දූගී බද්ද ලබා දීම වැනි මුදල්වලින් ඉටු කරන ඉබාදත්.
٤
හජ් හා උම්රා වන්දනාව වැනි මේ සියල්ල අන්තර්ගත වන අකාරයේ ඉබාදත්.

විවිධ ආකාරයේ ඉබාදත් තිබීම පිටුපස ඇති දේව ඥානය

විවිධ ආකාරයේ ඉබාදත් තිබීමේ පිටුපස ඇති දේව ඥානය වන්නේ, මිනිසුන් උදාසීනත්වයෙන් තොර ව, ක්‍රියාශීලී ව හා උනන්දුවෙන් යුතු ව ඉබාදත් කටයුතුවල නියැලීම වන අතර, තමන්ට වැඩි කැමැත්තක් හා උනන්දුවක් ඇති ඉබාදත්වල වැඩිවැඩියෙන් නියැලීමට යොමු වීම ද වේ.

එමෙන් ම, මිනිසුන්ගේ හැකියාවන් සහ කැමැත්ත යනාදිය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වන හෙයින් ඉබාදතයන් ද විවිධ ආකාරයෙන් පවතී. එබැවින්, තම තමන් කැමති ඉබදතයන්හි වැඩි ක්‍රියාශීලීත්වයක් හා උනන්දුවක් ඇති වේ. කෙනෙකු මිනිසුන්ට යහපත කිරීම කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනු ඇති අතර තවත් කෙනෙකු අනිවාර්ය නො වන උපවාසයෙහි වැඩිවැඩියෙන් නියැලීම කෙරෙහි කැමැත්තක් දක්වනු ඇත. එමෙන් ම, තවත් කෙනෙකු උතුම් අල් කුර්ආනය කියවීම හා කටපාඩම් කිරීම කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනු ඇත.

දේව දූතයාණන්ගේ හදීසයක මෙසේ සඳහන් වේ. “කවරෙක් (වැඩිවැඩියෙන්) සලාතය ඉටු කරන උදවියගෙන් කෙනෙක් වන්නේ ද, ඔහු සලාතයෙහි දොරටුවෙන් (ස්වර්ගයට පිවිසීම පිණිස) කැඳවනු ලැබේ. එමෙන් ම, කවරෙක් (වැඩිවැඩියෙන්) ජිහාද්හි නියැළෙන උදවියගෙන් කෙනෙක් වන්නේ ද, ඔහු ජිහාදයෙහි දොරටුවෙන් (ස්වර්ගයට පිවිසීම පිණිස) කැඳවනු ලැබේ. තවද, කවරෙක් (වැඩිවැඩියෙන්) සදකා (දානමාන) කරන උදවියගෙන් කෙනෙක් වන්නේ ද, ඔහු සදකාහි දොරටුවෙන් (ස්වර්ගයට පිවිසීම පිණිස) කැඳවනු ලැබේ. එමෙන් ම, කවරෙක් (වැඩිවැඩියෙන්) උපවාසයෙහි නියැළෙන උදවියගෙන් කෙනෙක් වන්නේ ද, ඔහු රයියාන් නැමැති දොරටුවෙන් (ස්වර්ගයට පිවිසීම පිණිස) කැඳවනු ලැබේ යැයි දේව දූතයණෝ පැවසූහ. එවිට, අබූ බක්ර්තුමා (රළියල්ලාහු අන්හු) ‘දේව දූතයාණෙනි! කෙනෙකු එම සියලු ම දොරටුවලින් කැඳවනු ලැබේ දැ? යි විමසුවේය. එයට එතුමාණෝ ‘එසේ ය, ඔබත් ඔවුන්ගෙන් කෙනෙකු වේ යැයි මා අපේක්ෂා කරමි’ යනුවෙන් පැවසූහ.” (බුහාරි - 1798, මුස්ලිම් - 1027)

ඉබාදතය මිනිසාගේ ජීවිතයේ සෑම අංගයක ම අන්තර්ගත වේ.

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට සමීප වීමේ චේතනාවෙන් මුඃමීන්වරයෙකු ඉටු කරන සෑම ක්‍රියාවක් ම ඉබාදතයක් වේ. ඉස්ලාමයෙහි ඉබාදත් යන්න උපවාසයේ නියැළීම හා සලාතය ඉටු කිරීම වැනි පොදුවේ ඉටු කරන ආගමික වත්පිළිවෙත්වලට පමණක් සීමා නො වේ. ඊට අමතර ව, යහපත් හා නිවැරදි චේතනාවෙන් ඉටු කරන්නා වූ යහපත් ක්‍රියා සියල්ල ආනිශංස හිමි වන ඉබාදතයක් බවට පත් වේ. මේ අනුව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට අවනත වීමේ පිවිතුරු චේතනාවෙන් මුස්ලිම්වරයෙකු ආහාර පාන ගත්තේ නම් හෝ නිදාගත්තේ නම් ඒ සඳහා ඔහුට ආනිශංස හිමි වේ.

මුස්ලිම්වරයෙක් තම මුළු ජීවිතය ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙනුවෙන් ජීවත් වෙයි. එනිසා, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට තව තවත් අවනත වීමේ චේතනාවෙන් ඔහු ආහාර ගත්තේ නම් එය ඉබාදතයක් වේ. එමෙන් ම, හරාම් (තහනම්) වූ දේවල්වලින් වැළකී, තම පතිවත ආරක්ෂා කරගැනීම සඳහා විවාහ වන්නේ නම් එම විවාහය ඉබාදතයක් වේ. මෙලෙස පිවිතුරු චේතනාවෙන් යුතු ව කටයුතු කිරීම නිසා ව්‍යාපාර කිරීම, රැකියාවක නිරත වීම, දැනුම ලබා ගැනීම, පර්යේෂණ කිරීම, නව නිපැයුම් නිපදවීම හා කාන්තාවක තම ස්වාමි පුරුෂයාට සැලකීම හා තම දරුවන් රැක බලාගැනීම යනාදී සියල්ල ඉබාදතයක් වශයෙන් පත් වේ. මේ අනුව, ජීවිතයේ සෑම අංගයක් ම, සෑම ක්‍රියාවක් ම හා සෑම කටයුත්තක් ම පිවිතුරු චේතනාව හා බැඳී පවතින තුරු එය ඉබාදතයක් ම වේ.

මිනිසුන් හා ජින්වරුන් මැවීමේ ප්‍රධානතම හේතුව ඉබාදත් කිරීම ය.

මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ දේශනා කරති. “මම මිනිස් වර්ගයා හා ජින් වර්ගයා මා නැමදීමට මිස අන් කිසිවකට නො මැව්වෙමි. ඔවුන්ගෙන් මම කිසිදු සම්පතක් අපේක්ෂා නො කරමි. තවද, ඔවුන් මා පෝෂණය කළ යුතු යැයි ද මම අපේක්ෂා නො කරමි. (නබිතුමනි, ඔබ පවසන්න) නියත වශයෙන් ම, උත්තරීතර අල්ලාහ් ම ය පෝෂකයා හා ස්ථීර බලය ඇත්තා.” (සූරා අස්සාරියියාත් - 56, 57, 58)

ඉහත අල් කුර්ආන් වැකියෙහි මිනිස් වර්ගයා හා ජින් වර්ගයා මැවීමට හේතුව ඔවුන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට ඉබාදත් කිරීම බව උන්වහන්සේ සඳහන් කරති. නමුත්, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට ඔවුන්ගේ ඉබාදත් කෙරෙහි අවශ්‍යතාවක් නොමැත. උන්වහන්සේ සර්ව සම්පූර්ණ හා සර්ව ස්වාධීනවන්තයාණෝ ය. එබැවින්, මිනිසුන්ට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි අවශ්‍යතාව ඇති හෙයින් උන්වහන්සේට ඉබාදත් හෙවත් නැමදූම් කිරිමේ අවශ්‍යතාව ඇත්තේ මිනිසුන්ට ය.

මිනිසා තම පැවැත්ම පිළිබඳ දිව්‍ය ඥානය සිහි නො කොට ඒ අරමුණ අතපසු කොට ලෞකික සුඛ විහරණයෙහි දෙන්නේ නම්; මෙම ග්‍රහලෝකයේ සෙසු ජීවීන්ට වඩා වාසියක් නොමැති ජීවියෙකු බවට පරිවර්තනය වේ. සත්වයෝ ද කා බී විනෝද වෙති. උන්ට මරණින් මතු ජීවිතයේදී කුලියක් හිමි නො වේ. නමුත් මිනිසුන් එසේ නො වේ. උතරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (මෙලොව සතුට) භුක්ති විඳිමින් ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරමින් සිටිති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි." (සූරා මුහම්මද් :12). ඔවුන්ගේ ක්‍රියාවන් සහ අරමුණු තුළ ඔවුන් සතුන්ට සමාන නමුත් ඒ සඳහා ඔවුන්ට දඬුවම් ලැබෙනු ඇත. මක්නිසාද යත්, බුද්ධියක් නොමැති සතුන් මෙන් නො ව, ඔවුනට තේරුම් ගත හැකි සහ අවබෝධ කර ගත හැකි මනසක් ඇති බැවිනි.

ඉබාදත්හි කුළුණු හෙවත් මූලිකාංග

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අණ කළා වූ ඉබාදතයක් ඉටු කිරීමේ දී මූලික කරුණු තුනක් මත පදනම් විය යුතු ය. එම කරුණු තුන ම එකිනෙක හා බැඳී පවතී.

ඉබාදත්හි මූලිකාංග

١
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට මුළුමනින් ම ආදරය කිරීම.
٢
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට යටහත් පහත් වීම හා බිය වීම.
٣
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීම හා උන්වහන්සේ පිළිබඳ යහපත් හා ධනාත්මක සිතුවිල්ලෙන් පසු වීම.

මේ අනුව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් තම ගැත්තන්ට පවරා ඇති ඉබාදතයන් ඉටු කිරීමේ දී, උන්වහන්සේට මුළුමනින් ම ආදරය කිරීම, උන්වහන්සේගෙන් බැති සිතින් යුතු ව හා බැගෑපත් ව ප්‍රාර්ථනා කිරීම හා උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබාගැනීම මෙන් ම, උන්වහන්සේට පරිපූර්ණ වශයෙන් යටහත් පහත් වීම, බිය වීම හා අවනත වීම යනාදී කරුණු අන්තර්ගත විය යුතු ය.

එනිසා, ධනයට හෝ ආහාර පානවලට ඇති කැමැත්ත හා ආදරය මෙන්, බියක් හා යටහත් පහත්භාවයකින් තොර ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි ඇති ආදරය ඉබාදතයක් වශයෙන් නො සැලකේ. එමෙන් ම, බිහිසුණු සත්ත්වයෙකුට හෝ අසාධාරණ ඒකාධිපති පාලකයෙකුට ඇති බිය මෙන් ආදරයකින් තොර බිය ද ඉබාදතයක් වශයෙන් නො සැලකේ. මේ අනුව, ඉබාදතයක් ලෙස සැලකෙන්නේ, උන්වහන්සේ කෙරෙහි ඇති ආදරය, බිය හා බලාපොරොත්තු සහගත බව යන කරුණු තුන අන්තරගත ක්‍රියාවන් පමණි. ඉබාදතය ඉටු කළ යුත්තේ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට පමණි.

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි ඇති ආදරය, උන්වහන්සේගෙන් හිමි වන ආනිශංස හා වරප්‍රසාද කෙරෙහි වූ බලාපොරොත්තුව හා උන්වහන්සේගේ දඬුවම්වලට බිය වීම යනාදිය හේතුවෙන් කෙනෙකු සලාතය ඉටු කරන්නේ නම් හෝ උපවාසයේ නියැලෙන්නේ නම්, එය ඉබාදතයක් වේ. නමුත් ඔහු තමා සලාතය නොකරන්නෙකු ලෙස නො කීම සඳහා සහ ඔහු තම සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා උපවාසය රකින්නේ නම් එය ඉබාදතයක් නො වේ.

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් උතුම් අල් කුර්ආනයෙහි තම දේව දූතයින් ව ප්‍රශංසා කරමින් මෙලෙස ප්‍රකාශ කොට ඇත. “නියත වශයෙන් ම, ඔවුහු යහපත් කටයුතුවල (එකිනෙකා අභිබවමින්) යුහුසුලු ව නියැලෙති. එමෙන් ම, (අපගේ ආනිශංස හා වරප්‍රසාදවලට) කැමැත්තෙන් හා (අපගේ දඬුවම්වලට) බියෙන් අපගෙන් ප්‍රාර්ථනා කරති. තවද, ඔවුහු (සියල්ලෝ ම) අප කෙරෙහි බැතිමත් ව සිටිති.” (සූරා අල් අන්බියා - 90)

ඉබාදත් වර්ග

١
නිශ්චිත හා අකෘතිගත නිර්මල ඉබාදත්
٢
චේතනාවෙන් ඉබාදත් ලෙස පත් වන දෑ.

1. නිශ්චිත හා අකෘතිගත නිර්මල ඉබාදත්

එනම්, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හා දේව දූතයාණන් නිශ්චිත ක්‍රමවේදයකට අනුව ඉටු කිරීමට අණ කර ඇති ඉබාදත් වේ. මීට නිදසුන් ලෙස සලාතය, සව්මය හෙවත් උපවාසශීලය, හජ් වන්දනාව හා තවාෆ් කිරීම වැනි ඉබාදතයන් දැක්විය හැකි ය. මෙවැනි ඉබාදත් කිසිවක් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හැර වෙනත් කිසිවෙකුට ඉටු කිරීම නො කළ යුතු ය.

2. චේතනාවෙන් ඉබාදත් ලෙස පත් වන දෑ.

එනම්, දෙමව්පියන්ට සැලකීම, මිනිසුන්ට යහපත කිරීම හා අසාධාරණයට ලක් වූ උදවියට පිහිටවීම වැනි පොදුවේ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අණ කළ හෝ පොදුවේ මිනිසුන් ඉටු කරන යහපත් ක්‍රියාවන් ය. මෙවැනි දෑ ඉටු නො කිරීමෙන් මුස්ලිම්වරයෙකුට අකුසල් හිමි වේ. මෙම ඉබාදතයන් ඉටු කිරීමේ දී, දේව දූතයාණන් ඉටු කළ අයුරින් ම ඉටු කිරීම අනිවාර්ය නො වන අතර, එතුමාණන්ගේ මඟ පෙන්වීමට පටහැනි නො වන අයුරින් හා ඉස්ලාමයේ තහනම් කළ දෙයකට යොමු නො වන අයුරින් තිබීම පමණක් ප්‍රමාණවත් ය.

මෙම ක්‍රියාවන් සිදු කරන පුද්ගලයාගේ චේතනාව නිවැරදි නම් සහ එසේ කිරීමෙන් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගැනීමට ඔහු අදහස් කරන්නේ නම්, ඔහුට එහි කුසල ලැබෙනු ඇත. මෙම ක්‍රියාවන් තුළින් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගැනීමට ඔහු අදහස් නො කරන්නේ නම්, ඔහුට පින් නො ලැබෙනු ඇත, පාපයක් ද සිදු නො වේ. එවැනි නමස්කාරයට නිදාගැනීම, වැඩ කිරීම, ව්‍යාපාර කිරීම, ක්‍රීඩා කිරීම වැනි ලෞකික කටයුතු ද ඇතුළත් වේ. එබැවින් අල්ලාහ්ගේ තෘප්තිය සඳහා කරන සෑම ප්‍රයෝජනවත් ක්‍රියාවකදීම, කරන්නාට විපාක ලැබෙනු ඇත. අල්ලාහ් මෙසේ පවසා ඇත. "නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින් ම අපි අපතේ නො හරින්නෙමු." (සූරා අල් කහ්ෆ්: 30)

ඉබාදතයක් නිවැරදි වීමට හා පිළිගනු ලැබීමට කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතු ය.

١
ඉහ්ලාස් (පිවිතුරු චේතනාව) හෙවත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙනුවෙන් පමණක් ඉටු කිරීම.
٢
දේව දූතයාණන්ගේ මඟ පෙන්වීමට අනුකූල වීම.

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් උතුම් අල් කුර්ආනයෙහි මෙසේ දේශනා කොට ඇත. “එබැවින්, කවුරෙක් තම පරමාධිපතියාණන් හමුවීමට අපේක්ෂා කරන්නේ ද, ඔහු දැහැමි ක්‍රියාවන් කර, තම දෙවියන්ට කිසිවෙකුත් සමාන නො කොට, (උන්වහන්සේට පමණක්) නැමදුම් කරනු මැන” (සූරා අල්කහ්ෆ් - 110)

මේ අනුව, කවරෙකු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව හා ස්වර්ගය අපේක්ෂා කරන්නේ ද, ඔහු උක්ත උතුම් අල් කුර්ආන් වැකියෙහි සඳහන් එම කොන්දේසි දෙකට අනුව ඉබාදත් කළ යුතු ය. “තම දෙවියන්ට කිසිවෙකුත් සමාන නො කොට, (උන්වහන්සේට පමණක්) නැමදුම් කරනු මැන” යන්න ඉහ්ලාසය (පිවිතුරු චේතනාව) හෙවත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හැර වෙන කිසිවෙකුටත් ඉබාදත් නො කිරීම යන කොන්දේසියට ද, “දැහැමි ක්‍රියාවන්” යන්නෙන් නිවැරදි හෙවත් දේව දූතයාණන්ගේ මඟ පෙන්වීමට අනුකූල ව තිබීම යන කොන්දේසියට ද අදාළ සාධක වේ.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.