වත්මන් කොටස: model:
පාඩම කලා කද්ර් (දේව නියමය හෙවත් දෛවය) පිළිබඳ විශ්වාස කිරීම.
කලා කද්ර් පිළිබඳ විශ්වාස කිරීම යනු කුමක් ද?
කලා කද්ර් පිළිබඳ විශ්වාස කිරීම යනු මෙලොව සිදු වන යහපත් හා අයහපත් දෑ සියල්ල උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ අනුදැනුම හා නියමය පරිදි සිදු වන බවත්, උන්වහන්සේ තමන්ට කැමති ඕනෑ ම දෙයක් ඉටු කරන බවත්, උන්වහන්සේගේ අභිමතයෙන් තොර ව කිසිවක් සිදු නො වන බවත්, මෙලොව කිසිදු දෙයකට උන්වහන්සේගේ නිර්ණය කිරීමෙන් හෝ පරිපාලනයෙන් බැහැර ව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවත් තරයේ විශ්වාස කිරීම වේ. එමෙන් ම, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් යම් යම් කරුණු ඉටු කරන මෙන් ද, තවත් කරුණුවලින් වැළකී සිටින මෙන් ද මිනිසුන්ට අණ කර ඇති බවත්, ඔවුනට කිසිදු බල කිරීමක් කර නොමැති බවත්, යහපත් ක්‍රියාවක් වුව ද අයහපත් ක්‍රියාවක් වුව ද, තමන්ට කැමති ඕනෑ ම දෙයක් කිරීමේ නිදහස මිනිසුන්ට ලබා දී ඇති බවත් විශ්වාස කිරීම වේ. තවද, මිනිසුන්ගේ මැවුම්කරුවාණන් වන්නේ ද, ඔවුනට තමන් කැමති දෙයක් කිරීමේ හැකියාව ලබා දෙන්නේ ද උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ය. උන්වහන්සේ තමන් කැමති කෙනෙකුට යහමඟ ලබා දෙන අතර, තමන් අකැමති කෙනෙකු ව නොමඟ යවනු ඇත. උන්වහන්සේගේ කටයුතු සම්බන්ධයෙන් කිසිවෙකුටත් ප්‍රශ්න කළ නො හැකි අතර, සියල්ලන්ගෙන් ම උන්වහන්සේ ප්‍රශ්න කරනු ඇත.
කලා කද්ර්හි නිර්වචනය
කලා කද්ර් (දෛවය) යනු: එය සර්වබලධාරී අල්ලාහ්ගේ පුරාණ කාලයේ දේවල් පිළිබඳ නියෝගයයි, ඒවා නිශ්චිත කාලවලදී සහ නිශ්චිත ලක්ෂණ සහිතව සිදු වන අතර ඔහුගේ දැනුම, ඔහුගේ ලිවීම, ඔහුගේ කැමැත්ත, ඒවා නිර්මාණය කිරීම සහ ඔහු තීරණය කළ දේ අනුව ඒවා සිදු වේ.
කලා කද්ර් පිළිබඳ විශ්වාස කිරීම අනිවාර්ය වන අතර එය අර්කානුල් ඊමාන් හෙවත් ඉස්ලාමයේ කුළුණු හා මූලිකාංගවලින් එකකි. ඊමානය හෙවත් විශ්වාසය යනු කුමක් දැයි දේව දූතයාණන්ගෙන් විමසූ අවස්ථාවේ දී එතුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ. “උත්තරීතර අල්ලාහ් දෙවිදාණන්, උන්වහන්සේගේ සුර දූතයින්, ධර්ම ග්‍රන්ථ, අවසන් දිනය හා යහපත හෝ අයහපත උන්වහන්සේගේ කලා කද්රයට අනුව ම සිදු වන බව විශ්වාස කිරීම වේ.” (මුස්ලිම්: 08)
කලා කද්ර් පිළිබඳ විශ්වාස කිරීමෙහි අන්තර්ගත කරුණු
කලා කද්ර් පිළිබඳ විශ්වාස කිරීමෙහි කරුණු හතරක් අන්තර්ගත වේ.
1. දැනුම
කලා කද්ර් පිළිබඳ විශ්වාස කිරීමෙහි කරුණු හතරක් අන්තර්ගත වේ. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් සෑම කරුණක් සම්බන්ධයෙන් ම කිසිදු අඩුවකින් තොර ව පරිපූර්ණ දැනුමැත්තාණන් බවත්, උන්වහන්සේ සියලු ම මිනිසුන් මැවීමට පෙර ම, ඔවුන් පිළිබඳවත් ඔවුන්ගේ පෝෂණය, ආයු කාලය, ප්‍රකාශ, ක්‍රියා, හැසිරීම්, රහස්‍ය දෑ, වාසස්ථාන හා ඔවුන් ස්වර්ගවාසීන් ද නැතිනම් නිරාවාසීන් ද යනාදී සියල්ල පිළිබඳ ව ම දැනුමැත්තාණන් බවත් විශ්වාස කිරීම. මේ පිළිබඳ ව උන්වහන්සේ මෙසේ දේශනා කළ සේක. “ඔහු මය උත්තරීතර අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. ඔහු දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැත්තා ය.” (සූරා අල්හෂ්ර් - 22)
2. සටහන් කිරීම
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් තම පූර්ව ඥානය මඟින් විශ්වයේ සිදු වන සියලු ම දෑ පිළිබඳ ලව්හුල් මහ්ෆූල් නැමැති ආරක්ෂිත ලේඛණයෙහි සටහන් කර ඇති බව විශ්වාස කිරීම. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “කිසිදු ව්‍යසනයක් අපි ඇති කිරීමට පෙර එය ලේඛණයෙහි (ලව්හුල් මහ්ෆූල්) සඳහන් ව මිස මිහිතලයේ හෝ ඔබලා අතර සිදුවන්නේ නොමැත. සැබැවින් ම මෙය උත්තරීතර අල්ලාහ් කෙරෙහි ඉතා පහසු කටයුත්තකි.” (සූරා අල්හදීද් - 22) එමෙන් ම, දේව දූතයාණන් ද මෙසේ පවසා ඇත. “උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මහපොළොව හා අහස් මැවීමට වසර පනස් දහසකට පෙර ම මැවීම්වලට අදාළ සෑම දෙයක ම ප්‍රමාණය සටහන් කර ඇත.” (මුස්ලිම් - 2653)
3. අභිමතය හෙවත් කැමැත්ත
ඕනෑ ම දෙයක් ඉටු කළ හැකි උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ අද්විතීය හා පරම අභිමතය හෙවත් කැමැත්ත හා අකැමැත්ත කෙරෙහි විශ්වාස කිරීම සහ විශ්වයේ සිදු වන සියලු ම සිදුවීම් උන්වහන්සේගේ එම අභිමතය පරිදි ම සිදු වන බව විශ්වාස කිරීම. උන්වහන්සේ කුමක් කෙරෙහි කැමති වන්නේ ද එය සිදු වන අතර උන්වහන්සේ කුමක් කෙරෙහි අකැමති වන්නේ ද එය සිදු නො වේ. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “මුළු මහත් විශ්වයේ ම පරමාධිපතියාණන් කැමති වන්නේ නම් මිසක ඔබලා (සෘජු මාර්ගය අනුගමනය කිරීමට) කැමති නො වන්නෙහු ය.” (සූරා අත්තක්වීර් - 29)
4. මැවීම
සියල්ල මැවූ මැවුම්කරු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් පමණක් බවත්, උන්වහන්සේ හැර අන් සියල්ල ම මවනු ලැබූ දෑ බවත්, උන්වහන්සේ සියල්ල කෙරෙහි ශක්තිවන්තයා බවත් විශ්වාස කිරීම. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “උන්වහන්සේ සියල්ල මවා, පසු ව එය සැලැස්මක් සහිත ව මනා ලෙස සැකසුවේ ය.” (සූරා අල්ෆුර්කාන් - 02)
මිනිසාට ඕනෑ ම දෙයක් තෝරාගැනීමේ නිදහස ද, ඕනෑ ම දෙයක් කිරීමට ඇති හැකියාවේ නිදහස ද, ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් තම කැමැත්ත හා අකැමැත්ත දැක්වීමේ නිදහස ද හිමි ය.
කලා කද්රය පිළිබඳ විශ්වාස කිරීම මඟින් මිනිසාට ඕනෑ ම දෙයක් තෝරාගැනීමේ නිදහස හෝ ඕනෑ ම දෙයක් කිරීමට ඇති හැකියාවේ නිදහස හෝ ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් තම කැමැත්ත හා අකැමැත්ත දැක්වීමේ නිදහස හෝ අහිමි නො වේ. මෙය, ඉස්ලාමීය සාධක හා ප්‍රයෝගික යථාර්තවාදී සාධක මඟින් ද තහවුරු වේ.
මිනිසාට ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් තම කැමැත්ත හා අකැමැත්ත දැක්වීමේ නිදහස හිමි බවට ඇති ඉස්ලාමීය සාධක වශයෙන් පහත අල් කුර්ආන් වැකිය සඳහන් කළ හැකි ය. “එම (අවසන්) දිනය (සිදු වීම)සත්‍යය ය. එබැවින් කවරෙක් කැමති වන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ ලැගුම් ගන්නා ස්ථානය තෝරාගනිත්වා.” (සූරා අන්නබඃ - 39) එමෙන් ම, මිනිසාට ඕනෑ ම දෙයක් කිරීමේ නිදහස හිමි බවට ඇති ඉස්ලාමීය සාධක වශයෙන් පහත අල් කුර්ආන් වැකිය සඳහන් කළ හැකි ය. “උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ කිසිදු ආත්මයකට එහි ශක්තියට (හැකියාවට) වඩා කිසිවක් නො පවරති. එම ආත්මය උපයා ගත් යහ දෑ එයට ම හිමි ය. එමෙන් ම, එම ආත්මය උපයා ගත් අයහපත් දෑ ද එයට ම හිමි ය.” (සූරා අල්බකරා - 286)
ප්‍රයෝගික හා යථාර්තවාදී සාධක වශයෙන් ගත් කල, මිනිසෙකු යමක් කිරීම හෝ නො කිරීම තීරණය වන්නේ, තමන් ට ඕනෑ ම දෙයක් කිරීමට ඇති හැකියාවේ නිදහස හා ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් තම කැමැත්ත හා අකැමැත්ත දැක්වීමේ නිදහස මඟින් බව සෑම පුද්ගලයෙකු ම දන්නා කරුණකි. මීට නිදසුනක් ලෙස, කෙනෙකු ඇවිදීම හා බිම වැටීම දැක්විය හැකි ය. කෙනෙකු ඇවිදින්නේ නම්, ඒ ඔහුට ඒ කෙරෙහි ඇති හැකියාව හා කැමැත්ත හේතුවෙන් ය. නමුත්, කෙනෙකු පය ලිස්සා බිම වැටෙන්නේ නම්, ඒ ඔහුට ඒ කෙරෙහි ඇති හැකියාව හෝ කැමැත්ත හේතුවෙන් නො වේ. නමුත්, මිනිසා සතු ඕනෑ ම දෙයක් කිරීමට ඇති හැකියාව හා ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් තම කැමැත්ත හා අකැමැත්ත දැක්වීම, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ හැකියාව සහ කැමැත්ත හා අකැමැත්ත යන්නෙහි අන්තර්ගත ය. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “එය (අල් කුර්ආනය) ලෝකවාසී සියලු ම දෙනාටත්, ඔබලා අතුරින් සෘජු මාර්ගය අනුගමනය කිරීමට කැමත්ත දක්වන උදවියටත් අනුශාසනාවක් මිස අන් කිසිවක් නො වේ. මුළු මහත් විශ්වයේ ම පරමාධිපතියාණන් කැමති වන්නේ නම් මිසක ඔබලා (සෘජු මාර්ගය අනුගමනය කිරීමට) කැමති නො වන්නෙහු ය.” (සූරා අත්තක්වීර් - 27,28,29) මුළු මහත් විශ්වය ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් සතු ය. එනිසා, උන්වහන්සේගේ අනුදැනුමෙන් හා කැමැත්තෙන් තොර ව කිසිවක් සිදු නො වේ.
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අණ කර ඇති දෑ ඉටු කිරීම හා උන්වහන්සේ වළක්වා ඇති දෑ වලින් වැළකී සිටීම යනාදී ආගමික වගකීම් ඉටු කිරීම හෝ නො කිරීම තීරණය වන්නේ මිනිසාට යමක් කිරීමට ඇති හැකියාව හා ඔහුගේ තෝරාගැනීමේ නිදහස මත ය. ඒ අනුව, කෙනෙකු සෘජු මාර්ගය තෝරාගැනීම මඟින් කුසල් හිමි කරගන්නා අතර දුර්මාර්ගය තෝරාගැනීම මඟින් අකුසල් හිමි කරගනියි. උන්වහන්සේ මිනිසාගේ හැකියාවට හා ශක්තියට වඩා වැඩි යමක් නො පවරති. එබැවින්, කලා කද්රය නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කරමින් පාපී කටයුතුවල නියැලීම හෝ ආගමික වගකීම් හා නැමදුම් කටයුතුවලින් වැළකී සිටීම කිසිසේත් ම පිළිගත නො හැකි ය.
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් මිනිසාට ඕනෑ ම දෙයක් කිරීමට ඇති හැකියාවේ නිදහස හා ඕනෑ ම දෙයක් තෝරාගැනීමේ නිදහස ලබා දී ඇත. එමෙන් ම, සෘජු මාර්ගය හා දුර් මාර්ගය පැහැදිළි කර දී ඇත. එසේ තිබිය දී, කෙනෙකු සෘජු මාර්ගය තෝරාගැනීම වෙනුවට දුර්මාර්ගය තෝරාගෙන උත්තරීතර අල්ලාහ් දෙවිදාණන්ට පිටුපා කටයුතු කරන්නේ නම්, එයට වගකිව යුත්තේ ඔහු මිස කලා කද්රය හෝ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් නො වේ.
කලා කද්රය විශ්වාස කිරීමෙන් ඇති ප්‍රයෝජන:
කලා කද්රය විශ්වාස කිරීමෙන් මුස්ලිම්වරයෙකුගේ දිවියට අත්වන ප්‍රයෝජන ඉමහත් ය. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
1. කලා කද්රය උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ තෘප්තියට භාජනය වන කටයුතුවල ක්‍රියාශීලී ව උද්යෝගයෙන් යුතු ව නියැළීමට පොළඹවන හා උනන්දු කරවන ප්‍රධානතම කරුණක් වීම.
තමන්ට යම් කරුණක් ඉටු කරගැනීමට අවශ්‍ය නම්, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ඒ සඳහා උපරිම අයුරින් මහන්සි වී කටයුතු කරන මෙන් මුස්ලිම්වරුන්ට අල්ලාහ් දෙවිඳාණන් අණ කොට ඇත. නමුත් උත්තරීතර අල්ලාහ් දෙවිදාණන්ගේ අනුමැතියෙන් හා අභිමතයෙන් තොර ව, හුදෙක් තම ස්වෝත්සාහයෙන් පමණක් යමක් සාර්ථක කරගත නො හැකි බව ද විශ්වාස කළ යුතු ය. මන් ද, යම් කාර්යයක් සාර්ථක කරගැනීමට පදනම් වන හේතු කාරණාහි නිර්මාපක හා එහි සාර්ථකත්වය හෙවත් ප්‍රතිඵලයෙහි නිර්මාපකයාණන් වන්නේ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් නිසා ය. දේව දූතයාණන් මෙසේ දේශනා කොට ඇත. “ඔබට ප්‍රයෝජනයක් ගෙන දෙන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. (එය සාර්ථක කරගැනීමට) උත්තරීතර අල්ලාහ් දෙවිදාණන්ගෙන් උදව් පතන්න. කිසිවිටකත් අපේක්ෂා භංගත්වයට පත් ව අධෛර්යමත් නො වන්න. ඔබට යම් අහිතක් හෝ අසාර්ථකත්වයක් ඇති වුවහොත් ‘මා මේ අයුරින් කටයුතු කළේ නම් මෙසේ සිදු වන්නට තිබුණි’ යැයි නො පවසා ‘කද්දරල්ලාහු වමා ෂාඅ ෆඅල’ (එය අල්ලාහ්ගේ නියමය යි. ඔහු කුමක් කිරීමට කැමති වන්නේ ද එය ඔහු ඉටු කරයි.) යැයි පවසන්න. ‘මා මේ අයුරින් කටයුතු කළේ නම් මෙසේ සිදු වන්නට තිබුණි’ යනුවෙන් (ඍණාත්මක) අයුරින් පැවසීම ෂෙයිතාන්ගේ කටයුතුවලට මඟ පාදනු ඇත.” (බුහාරි 4949, මුස්ලිම් - 2664)
2. මිනිසා තමන්ගේ තරම අවබෝධ කරගැනීමට හැකි වීම.
මෙනිසා අහංකාරකමින් හා අධිමානයෙන් තොර ව නිහතමානී ව කටයුතු කිරීමට පෙළඹේ. මන්ද යත්, තමන්ගේ දෛවය හෙවත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් තමන්ට නිර්ණය හා නියම කර ඇති දෑ පිළිබඳ ද අනාගතයේ දී තමන්ට සිදු වන දෑ පිළිබඳ ද අවබෝධයක් ඔහුට නොමැති වීම නිසා ය. මෙමඟින් මිනිසා තමන්ගේ නොහැකියාවන් හා දුර්වලතා ද, නිරතුරුව ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි තමන්ට ඇති අවශ්‍යතාව ද අවබෝධ කරගනියි. පොදුවේ ගත් කල, මිනිසා තමන්ට යම් යහපතක් හෝ සාර්ථකත්වයක් අත් වූ විට අහංකාරත්වයට පත් වේ. එමෙන් ම, යම් අහිතක් හෝ අසාර්ථකත්වයක් අත් වූ විට දුකට හා අධෛර්යමත් භාවයට පත් වේ. මෙලෙස යහපතක් අත් වූ විට අහංකාරත්වයට පත් වීමට හෝ අහිතක් වූ විට දුක් වී අධෛර්යමත් වීමට හෝ ලක් නො වී සිටීමට මිනිසාට උපකාර වන්නේ කලා කද්රය පිළිබඳ ස්ථීර විශ්වාසය යි. මන් ද, සියල්ල උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ නියමයට හා උන්වහන්සේගේ පූර්ව ඥානයට අනුව සිදු වන බව ඔහු හොඳින් ම දන්නා නිසා ය.
3. ඊර්ෂ්‍යා කිරීමේ දුර්ගුණාංගයෙන් වැළකී සිටීමට හැකි වීම.
මුස්ලිම්වරයෙකු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අන් අයට ලබා දී ඇති දායාද හා සැපසම්පත් යනාදිය කෙරෙහි ඊර්ෂ්‍ය නො කළ යුතු ය. මන් ද, ඔවුනට ඒවා ලබා දීමට නියම කළේ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ය. එනිසා, තමන් ඒවාට ඊර්ෂ්‍යා කිරීම යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ නියමය හෙවත් කලා කද්රයට පිටු පෑමක් බව ඔහු හොඳින් ම දනියි.
4. කලා කද්රය පිළිඳ විශ්වාසය, අසීරුතා හා කරදරවලට මුහුණ දීමේ දී සිත තුළ ධෛර්යමත්භාවය හා අධිෂ්ධානශීලීත්වය ඇති කරයි.
මන් ද යත්, ලෞකික අවශ්‍යතා හා ආයුෂ යනාදිය උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් නිර්ණය කොට ඇති බවත් උන්වහන්සේ විසින් නියම කොට ඇති දෑ හැර වෙනත් කිසිවක් තමන්ට සිදු නො වන බවත් ඔහු හොඳින් ම දන්නා බැවින් ය.
5. කලා කද්රය පිළිබඳ විශ්වාසය, මුඃමින්වරයෙකු තුළ ඊමානීය (විශ්වාසය හා බැඳි) යථාර්ථයන් බොහෝමයක් ක්‍රමක්‍රමයෙන් ඇති කරයි.
එමඟින් ඔහු සෑම විට ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගෙන් උදව් පැතීමටත්, යමක් සාර්ථක කරගැනීමේ දී ඊට තමන් ඉටු කළ යුතු දෑ ඉටු කරමින් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමටත්, සෘජු මාර්ගයෙහි ස්ථාවර ව සිටීම සඳහා උන්වහන්සේගෙන් උදව් පතමින්, උන්වහන්සේ කෙරෙහි නිතර ම අවශ්‍යතාව ඇත්තෙකු බවට පත්වීමටත් පෙළඹේ.
6. කලා කද්රය පිළිබඳ විශ්වාසය, සිත තුළ සන්සුන් බවක්, තෘප්තිමත් බවක් හා සැනසීමක් ඇති කරයි.
මන්ද යත්, යම් යහපතක් හෝ අයහපතක් ඔහුට සිදු වූයේ නම්, එය ඔහුට සිදු වීමට නියමිත ව තිබුණු දෙයක් බවත්, යම් යහපතක් හෝ අයහපතක් ඔහුට සිදු නො වූයේ නම්, එය ඔහුට සිදු වීමට නියමිත ව තිබුණු දෙයක් නො වන බවත් ඔහු හොඳින් ම දන්නා බැවින් ය.