දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම උතුම් අල් කුර්ආනය කියවීමේ නීතිරීති හා ආචාරධර්ම

ශුද්ධ වූ අල්කුර්ආනය වනාහි උත්තරීතර වූ අල්ලාහ්ගේ වදන වේ. එය කියවීමේ විධිවිධාන හා ආචාරධර්ම මොනවාද යන්න දැන ගැනීම එය කිවන්නා කෙරෙහි වූ වගකීමකි. එවැනි විධිවිධාන කිහිපයක් පිළිබඳ මෙම පාඩමේදී උගන්වනු ලබයි.

  • උතුම් අල් කුර්ආනය කියවීමේ නීතිරීති හා ආචාරධර්ම දැන හඳුනා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

උතුම් අල් කුර්ආනය කටපාඩම් කිරීමේ නීතිය

١
ඉජ්මාවට අනුව උතුම් අල් කුර්ආනය කටපාඩම් කිරීම මුස්ලිම් සමාජයට ෆර්ල් කිෆායා (මුස්ලිම් සමාජයේ ප්‍රමාණවත් පිරිසක් එය ඉටු කිරීම) වේ. ඒ අනුව, මුස්ලිම් සමජයෙන් ප්‍රමාණවත් පිරිසක් එම කටයුත්ත ඉටු කළේ නම් සමාජයේ අන් අයට ද එම වගකීමෙන් මිදීමට හැකි ය.
٢
සෑම මුස්ලිම්වරයෙකුට ම ඔහුගේ සලාතය නිවැරදි වීමට අත්‍යාවශ්‍ය වන උතුම් අල් කුර්ආනයෙහි සූරා අල්ෆාතිහාව කටපාඩම් කිරීම අනිවාර්ය වේ.
٣
සෑම මුස්ලිම්වරයෙකු ම තමන්ට හැකි පමණින් උතුම් අල් කුර්ආනය කටපාඩම් කරගැනීමට උත්සාහ කිරීම මුස්තහබ් (ප්‍රියජනක) ක්‍රියාවක් වේ. මන් ද යත්, උතුම් අල් කුර්ආනය කඩපාඩම් කිරීමෙහි බොහෝ මහිමයන් හා ඉමහත් ආනිශංස ඇත.

දේව දූතයාණන් දේශනා කළ බවට ආයිෂාතුමිය මෙසේ වාර්තා කරයි. “උතුම් අල් කුර්ආනය කටපාඩම් කර, එය කියවන පුද්ගලයා ඉතා කීකරු හා ගෞරවණීය දූතයින් (මලාඉකාවරුන්) සමඟ සිටින්නෙකු වැනි ය.” (බුහාරි - 4937)

උතුම් අල් කුර්ආනය කියවීමේ නීතිය

උතුම් අල් කුර්ආනය කියවීම හා තමන්ට හැකි පරිදි අධික වශයෙන් එය කියවීමට උත්සාහ කිරීම මුස්තහබ් (වඩාත් ප්‍රියජනක) ක්‍රියාවක් වේ. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “නියත වශයෙන් ම, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ ධර්ම ග්‍රන්ථය (උතුම් අල් කුර්ආනය) කියවන, නොකඩවා නිසි වේලාවට සලාතය ඉටු කරන හා අප ඔවුනට පිරිනැමූ දෑ අතුරින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ (උන්වහන්සේගේ මාර්ගයේ) වියදම් කළ උදවිය (එමඟින්) කිසිදා විනාශ නොවන (ලාභදායී) ව්‍යාපාරයක් ම (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ තෘප්තිය හා ස්වර්ගය) අපේක්ෂා කරන්නෝය.” (සූරා ෆාතිර් - 29)

උතුම් අල් කුර්ආනය කියවනු ලබන විට නිශ්ශබ්ද වීම හා ඊට සවන් දීම හා සම්බන්ධ නීතිය

අනිවාර්ය සලාතය හා සිකුරාදා දින විශේෂ ආගමික දේශනය අතරතුර උතුම් අල් කුර්ආනය කියවනු ලබන විට නිශ්ශබ්ද ව සිටිමින් ඒ වෙත සවන් දීම වාජිබ්අ හෙවත් අනිවාර්ය වේ. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති. “උතුම් අල් කුර්ආනය කියවනු ලබන විට ඒ කෙරෙහි හොඳින් සවන් යොමු කරන්න. එමෙන් ම, (එම අවස්ථාවේ දී) නිශ්ශබ්ද ව සිටින්න. (එමඟින්) ඔබලාට (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ) රහ්මතය (ආදරය හා කරුණාව) හිමි වනු ඇත.” (සූරා අල් අඃරාෆ් - 204)

මේ හැර අනෙකුත් අවස්ථාවල දී උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ භාෂිතයට ගෞරව කිරීමක් වශයෙන් උතුම් අල් කුර්ආනය කියවනු ලබන විට නිශ්ශබ්ද ව සිටිමින් ඒ වෙත සවන් දීම මුස්තහබ් (ප්‍රියජනක) ක්‍රියාවක් වේ.

උතුම් අල් කුර්ආනය අනුගමනය කිරීම හා සම්බන්ධ නීතිය

උතුම් අල් කුර්ආනය පිළිබඳ විශ්වාස කිරීම, එහි නීතිරීතිවලට අනුව කටයුතු කිරීම, එහි හලාල් (අනුමත) යැයි සඳහන් දෑ එ් අයුරින් ම පිළිගෙන කටයුතු කිරීම, එහි හරාම් (තහනම්) යැයි සඳහන් දෑ ඒ අයුරින් ම පිළිගෙන කටයුතු කිරීම, වැළකී සිටිය යුතු යැයි සඳහන් කරුණුවලින් වැළකී දුරස් ව සිටීම, ඉටු කළ යුතු යැයි අණ කර ඇති කරුණු ඉටු කිරීම හා සියලු ම කටයුතු උතුම් අල් කුර්ආනයට අනුව ම ඉටු කිරීම සෑම පුද්ගලයෙකුට ම වාජිබ් හෙවත් අනිවාර්ය වේ.

දේව දූතයාණන් දේශනා කළ බවට අලිතුමා මෙසේ වාර්තා කරයි. “කවරෙකු උතුම් අල් කුර්ආනය කියවා, එය කටපාඩම් කරගෙන, එහි හලාල් (අනුමත) හා හරාම් (අනුමත නොවන) යනුවෙන් සඳහන් කර ඇති දෑ ඒ අයුරින් ම පිළිගෙන, ඊට අනුකූල ව කටයුතු කරන්නේ ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ඔහු ව ස්වර්ගයට ඇතුළු කරන අතර, ඔහුට ඔහුගේ පවුලේ උදවිය අතුරින් නිරය අනිවාර්ය වූ දස දෙනෙකු වෙනුවෙන් (උන්වහන්සේ අභියස) ෂෆාඅත් කිරීමට (මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට) අවස්ථාව හිමි වේ.” (තිර්මිදි - 2905)

අබ්දුල්ලාහ් තුමා මෙසේ වාර්තා කරයි. “අපි දේව දූත මුහම්මද්තුමාණන්ගෙන් උතුම් අල් කුර්ආනයේ වැකි දහයක් ඉගෙන ගත්තේ නම්, එහි අන්තර්ගත දෑ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නා තුරු, ඊට පසු ව පහළ වූ වැකි දහය ඉගෙන නොගන්නෙමු.” (අල් හාකිම් - 2047)

උතුම් අල් කුර්ආනය කියවීම අත් නොහැර නොකඩවා කියවීම.

මුස්ලිම්වරයෙකු උතුම් අල් කුර්ආනය නොකඩවා කියවීමට දැඩි ව අධිෂ්ඨාන කර ගත යුතු ය. උතුම් අල් කුර්ආනය කියවීම මඟ හැර නොයෑම හා අමතක නොවීම පිණිස උතුම් අල් කුර්ආනයෙහි වැකි කිහිපයක් හෝ නොකියවා දවසක් ගත කිරීම නොකළ යුත්තකි. “මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන් ම මාගේ ජනතාව මෙම උතුම් අල් කුර්ආනය නොසලකා හරින ලද්දක් වශයෙන් ගත්තෝය’ යැයි දේව දූතයාණෝ පැවසූහ.” (සූරා අල්ෆුර්කාන් - 30)

දේව දූතයාණන් දේශනා කළ බවට අබූ මූසාතුමා මෙසේ වාර්තා කරයි. “නිතර නිතර උතුම් අල් කුර්ආනය කියවන්න. නියත වශයෙන් ම, ලණුවෙන් ගැට ගසා ඇති ඔටුවාට වඩා වේගයෙන් (ඉක්මණින්) උතුම් අල් කුර්ආනය (මතකයෙන්) ගිලිහී යනු ඇතැ යි මාගේ ප්‍රාණය ඇත්තේ කවරෙකුගේ අතෙහි ද ඔහු මත දිවුරා පවසමි.” (බුහාරි - 5033)

අල් කුර්ආනය පාරායනය කිරීමේ ආචාර විධි

පාරායනය අල්ලාහ් පිළිගැනීම සඳහා අල්-කුර්ආනය පාරායනය කිරීම සඳහා පිළිපැදිය යුතු ආචාර විධි ඇත. මෙම ආචාර විධි පාරායනය කිරීමට පෙර තිබෙන ආචාර විධි සහ ඉන් සමහර ඒවා පාරායනය කිරීම අතරතුර තිබෙන ආචාර විධි වේ.

පාරායනය කිරීමට පෙර තිබෙන ආචාර විධි

١
තම පාරායනය අල්ලාහ් වෙනුවෙන් පමණක් සහ ඔහුගේ තෘප්තිය හා ඔහුගේ වේතනය අපේක්ෂා කරමින් සිදු කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි. (අල් බයියිනාහ්: 5) මෙම ආචාර විධිය අල්කුර්ආනය පාරායනා කිරීමට පෙර පමණක් නොව එය පාරායනා කරන අතරතුර ද අනුගමනය කළ යුතු ආචාර විධියකි.
٢
සුළු හා මහා කිල්ලෙන් පිරිසිදු ව සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති. (අල් වාකිආ: 79)
٣
දත් මැද මුඛය පිරිසදුව තබා ගැනීම. මන්ද අල්කුර්ආනය පාරායනා කරනු ලබන මාධ්‍ය එය වේ. හුදෙයිෆා (රළි) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම නබි (සල්) තුමාණන් මධ්‍යම රාත්‍රී සලාතය සඳහා අවදි වූ විට සිවාකය (දැහැටිය) මගින් මුඛය පිරිසදු කරනු ඇත.
٤
අල් කුර්ආනය පාරායනා කරන විට කිබ්ලා දිශාව හැරී සිටීම. මන්ද එය දිශාවන් වලින් වඩාත් ගෞරවණීය දිශාවකි. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: සෑම කරුණක් සඳහාම ප්‍රධානියකු සිටී. සභාවන් හි ප්‍රධානියා කිබ්ලා දිශාව වේ. (තබරානී 2354)
٥
ෂෙයිතාන්ගේ උවදුරුවලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු. (අන්නහ්ල්: 98)
٦
යම් පරිච්ඡේදයක ආරම්භයේ සිට අල්කුර්ආන් පාරායනය ආරම්භ කරන්නේ නම් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යැයි පවසා ආරම්භ කිරීම. අනස් (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: අප සැම නබි (සල්) තුමාණන් සමඟ සිටියෙමු. එවිට එතුමාණන් කෙටි නින්දක් ගෙන සිනාසෙමින් හිස එසෙවිය. එවිට අප: අහෝ නබිතුමණි! ඔබව සිනාසීමට ලක් කළ දෑ කුමක් ද යනුවෙන් විමසුවෙමු. මා වෙත එක් පරිච්ඡේදයක් පහළ වුණි යැයි පවසා බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යැයි කියමින් අල්කවුසර් පරිච්ඡේදය පාරායනා කළේය. (මුස්ලිම් 400)

අල්කුර්ආනය පාරායනා කරන අතරතුර අනුගමනය කළ යුතු ආ

١
අල්-කුර්ආනය සෙමින් හා සන්සුන්ව තාලයට පාරායනය කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: තවද අල් කුර්ආනය තාලයට (පිළිවෙළට) පාරායනය කරමින් පාරායනය කරනු. (අල් මුස්සම්මිල් 4)
٢
අල්කුර්ආනය තජ්වීද් නීතිරීති වලට අනුව පාරායනා කිරීම. අනස් (රළි) තුමාණන්ගෙන් නබි (සල්) තුමාණන්ගේ පාරායනය කෙසේ වී ද යනුවෙන් විමසන ලදී. එවිට එතුමණ්: දීර්ඝ කර පාරායනා කිරීම එතුමාගේ සිරිත විය. පසුව බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යැය පාරායනා කර පෙන්වා එහි ඇති බිස්මිලාලහ් යන පදය නබි (සල්) තුමාණන් දීර්ඝ කර පාරායනා කළහ. එහි ඇති අර් රහ්මාන් යන පදය නබි (සල්) තුමාණන් දීර්ඝ කර පාරායනා කළහ. එහි ඇති අර් රහීම් යන පදය නබි (සල්) තුමාණන් දීර්ඝ කර පාරායනා කළහ. යැයි පැවසූහ. (බුහාරි 5046)
٣
අලංකාර හඬකින් අල්කුර්ආනය පාරායනා කිරීම: නබි (සල්) තුමාණන් පැවසූ බව අල් බරා බින් ආසිබ් (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: ඔබ ඔබේ ශබ්ද වලින් අල්කුර්ආනය අලංකාර කරනන්න. (අබූ දාවූද් 1468)
٤
කරුණාව පිළිබඳ සඳහන් වැකියක් පාරායනා කිරීමේදී අල්ලාහ්ගෙන් අයැද සිටීම. දඬුවම පිළිබඳ වැකියක් පාරායනා කිරීමේ දී අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා අයැද සිටීම. තස්බීහ් වැකියක් පාරායනා කිරීමේදී අල්ලාහ්ව තස්බීහ් (සුවිශුද්ධ) කිරීම. සජදාවක් සඳහන් වැකියක් පැමිණි විට සුජූද් කිරීම. හුදෙයිෆා (රළි) තුමාණන්ගේ හදීසයේ මෙසේ සඳහන් වේ: පසුව නබි (සල්) තුමාණන් ආලු ඉම්රාන් පරිච්ඡේදය සන්සුන්ව පාරයනා කිරීමට ආරම්භ කළහ. තස්බීහ් වැකියක් පාරායනා කිරීමේදී අල්ලාහ්ව තස්බීහ් (සුවිශුද්ධ) කළහ. අයැදීම පිළිබඳ වැකියක් පාරායනා කිරීමේදී අල්ලාහ්ගෙන් අයැද සිටියහ.ආරක්ෂාව පැතීම පිළිබඳ වැකියක් පාරායනා කිරීමේ දී අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා අයැද සිටියහ. (මුස්ලිම් 772)
٥
සුජූද් අත් තිලාවා අන්තර්ගත වැකියක් පාරායනා කළ විට සුජූද් කිරීම සුන්නත් වේ. ආඉෂා (රළි) තුමිය මෙසේ ප්‍රකාශ කළාය: නබි (සල්) තුමාණන් රාත්‍රි සලාතයේ සජදා තිලාවත් හි " සජද වජ්හිය ලිල්ලදී කලකහූ වෂක්ක සම්අහූ වබසරහූ බිහව්ලිහී වකුව්වතිහී" යනුවෙන් නැවත නැවතත් කියමින් සිටියහ. (අබූ දාවූද් 1414)
٦
එය පාරායනා කරන විට බියබැතිමත්කම සහ සන්සුන්කම මුසු කළ යුතුයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළහ: (මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිය ඇත්තන් මෙනෙහි කරනු පිණිසත් (අපි එය පහළ කළෙමු.) (සාද් 29)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.