දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම කෙනෙකු ඉස්ලාමයට පිවිසෙන්නේ කෙසේ ද?

පුද්ගලයෙකු ඉස්ලාමයට ඇතුළු වන මොහොත ඔහුගේ ජීවිතයේ වඩාත් ම ස්වර්ණමය අවස්ථාවයි. මෙය ඔහුගේ සැබෑ උපතයි, ඉන්පසු ඔහු මෙලොව ඉපදීමට හා පැවැත්මට හේතුව දැන ගනී. මුස්ලිම්වරයෙකු වීමට සහ මෙම ශ්‍රේෂ්ඨ ආගමට ඇතුළු වීමට පුද්ගලයෙකු කළ යුතු දේ මෙම පාඩමෙන් ආවරණය කෙරෙයි.

  • ඉස්ලාමයට ඇතුළු වන ආකාරය ඉගෙන ගැනීම.
  • පාපොච්ඡාරණයේ වැදගත්කම සහ එහි ස්ථිරභාවයේ සාධක හඳුනා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ෂහාදා දෙකෙහි අරුත පිළිබඳ මනා අවබෝධයකින් හා ඒ පිළිබඳ ස්ථීර විශ්වාසයකින් යුතු ව, එහි අන්තර්ගත අදහසට අවනත වෙමින් එම ෂහාදා දෙක පැවසීම මඟින් කෙනෙකු ඉස්ලාමයට පිවිසෙයි.

ෂහාදා දෙක යනු?

١
“අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ්” (උත්තරීතර අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත යැයි මම සාක්ෂි දරමි) යනුවෙන් පැවසීම. මෙහි අදහස “සැබැවින් ම, නැමදීමට සුදුස්සා උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවක් නොමැත යැයි මා සාක්ෂි දරමි, ස්ථීර ව විශ්වාස කරමි. එබැවින්, කිසිදු හවුල්කරුවෙකු නොමැති උන්වහන්සේට පමණක් නමදිමි.” යන්න ය.
٢
“වඅෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ්” (තව ද, මුහම්මද්තුමාණන් උත්තරීතර අල්ලාහ්ගේ දේව දූතයාණන් බවත් මම සාක්ෂි දරමි) යනුවෙන් පැවසීම. මෙහි අදහස “දේව දූත මුහම්මද්තුමාණන් අණ කළා වූ කරුණුවලට අවනත ව, එතුමාණන් වැළැක්වූ කරුණුවලින් වැළකී, මුළු මහත් මනුෂ්‍ය සමාජයට ම යවනු ලැබූ උත්තරීතර අල්ලාහ්ගේ දේව දූතයාණන් බවත් එතුමාණන්ගේ මඟපෙන්වීමට අනුව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව නමදින බවත් මා සාක්ෂි දරමි” යන්න ය.

ස්නානය කිරීම.

කෙනෙකු ඉස්ලාමයට පිවිසෙන මොහොත ඔහුගේ ජීවිතයේ සුවිශේෂී හා ශ්‍රේෂඨතම මොහොත වනු නියත ය. එමෙන් ම, එය මෙලොව ජීවිතයේ සැබෑ අරුත තේරුම් කරදෙන්නා වූ සැබෑ උපත වනු ඇත. ඉස්ලාමයට පිවිසෙන අවස්ථාවේ දී තම සිත ආදේශ තැබීමෙන් හා පාපී ක්‍රියාවන්වලින් පවිත්‍ර කරගත්තා සේ තම ගත ද පවිත්‍ර කරගැනීම පිණිස ස්නානය කිරීම මුස්තහබ් (ප්‍රියජනක) ක්‍රියාවකි.

“අරාබිවරුන්ගේ නායකයින්ගෙන් කෙනෙකු වන සහාබිවරයෙකු ඉස්ලාමයට පිවිසීමට තීරණය කළ අවස්ථාවේ දී ඔහුට ස්නානය කරන මෙන් දේව දූතයාණෝ අණ කළහ.” (බයිහකී - 837)

අත්තව්බා නමැති පශ්චාත්තාපය හෙවත් පාපක්ෂමාව අයැදීම

පශ්චාත්තාපය හෙවත් පාපක්ෂමාව අයැදීම යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙතට නැවත යොමු වීම ය. එනිසා, කවරෙක් පාපී ක්‍රියාවලින් හා උත්තරීතර අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීමෙන් සම්පූර්ණයෙන් ම ඈත් ව, අවංක සිතින් යුතු ව උත්තරීතර අල්ලාහ් වෙත නැවත යොමු වන්නේ ද, ඔහු උන්වහනසේගෙන් සැබෑ ලෙස ම පාපක්ෂමාව අයැද සිටි පුද්ගලයෙකු බවට පත් වේ.

වලංගු පාපාක්ෂමාවක කොන්දේසි:

١
සම්පූර්ණයෙන් ම එම පාපී ක්‍රියාව අත්හැරීම. තව්බා කරන අවස්ථාවේ දී එම පාපී ක්‍රියාවෙන් වැළකී නො සිට, එහි නිරත වෙමින් පාපක්ෂමාව අයැදීම පිළිගනු නො ලැබේ. නිවැරදි අයුරින් තව්බා හෙවත් පාපක්ෂමාව අයැදීමෙන් පසුව, නැවත එම පාපී ක්‍රියාවේ නිරත වීම මඟින් කෙනෙකුගේ තව්බාව ප්‍රතික්ෂේප වනු නො ලබන නමුත් නැවතත් තව්බා හෙවත් පාපක්ෂාමාව අයැදීම අත්‍යාවශ්‍ය වේ.
٢
පෙර කළ පාපයන් පිළිබඳ අවංක ව ම පසුතැවිලි වීම. තමන් පෙර කළා වූ පාපයන් පිළිගෙන, ඒ කෙරෙහි පසුතැවිලි වීමෙන් හා දුක් වීමෙන් තොර ව, පාපාක්ෂමාව අයැදීම පිළිගනු නො ලැබේ. තමාගේ පාපී ක්‍රියා පිළිබඳ ප්‍රසිද්ධියේ කතාබහ කරමින් ඒ පිළිබඳ ආඩම්බර වන පුද්ගලයා, තම පාපයන් පිළිබඳ පසුතැවිලි වූවෙකු සේ සලකනු නො ලැබේ. “පසුතැවලි වීම පාපක්ෂමාව අයැදීමකි” (ඉබ්නු මාජා - 4252) යනුවෙන් දේව දූතයාණන් පවසා ඇත්තේ මේ නිසා ය.
٣
නැවත එම පාපයන් නො කරන බවට තරයේ අධිෂ්ඨාන කරගැනීම. තව්බා කිරීමෙන් පසු ව නැවත එම පාපයන්හි නියැළීමේ චේතනාවෙන් යුතු ව පාපක්ෂාමාව අයදින්නාගේ තව්බාව පිළිගනු නො ලැබේ.
٤
පාපය මානව හිමිකම් හා සම්බන්ධ ව ඇත්නම් අදාළ පුද්ගලයාගෙන් සමාව ඉල්ලීම හෝ කිසියම් වන්දියක් භාර දීම.

අධිෂ්ධානශීලීත්වය ඇති කරගැනීම සඳහා වූ පියවර

١
කුමන අවස්ථාවක සහ කුමන තත්ත්වයක සිටිය ද, සුළු මොහොතකට හෝ නැවත එම පාපී ක්‍රියාවෙහි නිරත නො වන බවට තමන් තමන්ට ම සහතික වීම හා පොරොන්දු වීම. මේ පිළිබඳ ව දේව දූතයාණන් මෙසේ දේශනා කොට ඇත. “කවරෙකු සතු ව කරුණු තුනක් ඇත්තේ ද ඔහු ඊමානයේ සුවය විඳිනු ඇත.” එම කරුණු තුන අතුරින් “නිරයට විසි කරනු ලැබීම පිළිකුල් කරන්නා සේ, උත්තරීතර අල්ලාහ් කුෆ්රයෙන් තමන් ව බේරා ගැනීමෙන් පසු ව, නැවත කුෆ්රය (උත්තරීතර අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීම) වෙත යොමු වීම පිළිකුල් කිරීම.” යන කරුණ ද සඳහන් කර ඇත. (බුහාරි - 21, මුස්ලිම් - 43)
٢
පාපී ක්‍රියාවන්ට පොළඹවන හා ඊමානය දුර්වල වීමට හේතු වන පුද්ගලයින් හා ස්ථානවලින් දුරස් ව සිටීම.
٣
මරණය දක්වා සෘජු මාර්ගයේ ස්ථීර ව සිටීම පිණිස වැඩිවැඩියෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගෙන් දුආ හෙවත් ප්‍රාර්ථනා කිරීම. උතුම් අල් කුර්ආනයේ හා සුන්නාවේ සඳහන් එවැනි ප්‍රාර්ථනා කිහිපයක් මෙසේ සඳහන් කළ හැකි ය. “අපගේ පරමාධිපතියාණෙනි! අපට සෘජු මාර්ගය ලබා දුන් පසු අපගේ හදවත් මුළාවට පත් නො කරනු මැනව!” (සූරා ආල ඉම්රාන් - 08) “සිත් වෙනස් කරන්නාණෙනි! මාගේ සිත ඔබේ දහමෙහි ස්ථීර කරනු මැන!” (තිර්මිදි - 2140)

තව්බා කිරීමෙන් පසු කුමක් සිදු වන්නේ ද?

කෙනෙකුගේ පාපයන් කෙතරම් බහුල ව තිබුණ ද කෙතරම් ඉමහත් වුව ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගෙන් පාපක්ෂමාව අයැදීමෙන් අනතුරු ව, ඔහුගේ එම සියලු ම පාපයන්ට උන්වහන්සේ පාපක්ෂමාව ලබා දෙන සේක. උන්වහන්සේගේ රහ්මතය (ආදරය හා කරුණාව) සෑම දෙයක ම ව්‍යාප්ත ව පවතී. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ දේශනා කර ඇත. “මාගේ ගැත්තනි! (පව් කිරීමෙන්) සීමා ව ඉක්මවා තමන්ට ම හානි කරගත් උදවිය වන ඔබලා උත්තරීතර අල්ලාහ්ගේ රහ්මතය කෙරෙහි අපේක්ෂා භංගත්වයට පත් නො වනු. (ඔබ පාපයන්ගෙන් ඈත් ව, ඒ පිළිබඳ පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නේ නම්) සැබැවින් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් සියලු ම පාපයන්ට සමාව දෙති. නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් පාපක්ෂමාව ලබා දෙන්නාණන් හා මහා දයාන්විතයාණන් වෙති යනුවෙන් (මා පැවසූ බවට, නබිතුමනී!) ඔබ පවසන්න.” (සූරා අස්සුමර් - 53)

කෙනෙක් නිවැරදි ව හා සැබෑ ලෙස පාපක්ෂමාව අයැදීමෙන් පසු කිසිදු පවක් නොමැති පිවිතුරු පුද්ගලයෙකු බවට පත් වේ. එපමණක් නො ව, එලෙස අවංක ව හා තම පාපයන් පිළිබඳ සැබෑ ලෙස ම පසුතැවිලි වී, පාපක්ෂමාව අයදින්නන්ට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ සුවිශේෂී වරප්‍රසාදයක් ලබා දෙති. එනම්, ඔහුගේ පාපයන් සියල්ල, යහක්‍රියා බවට පරිවර්තනය කිරීම ය. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “එහෙත් (ඔවුන්ගෙන්) කවරෙකු පාපක්ෂමාව අයැද, (ධර්මය කෙරෙහි) පරපූර්ණ විශ්වාසය තබා, යහක්‍රියාවන්හි නිරත වන්නේ ද, එවැනි උදවියගේ පාපයන් යහක්‍රියා බවට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ පරිවර්තනය කරති. උත්තරීතර අල්ලාහ් දෙවිදාණෝ අති ක්ෂමාශීලී හා කරුණාවන්තයෙකු වශයෙන් සිටිති.” (සූරා ෆුර්කාන් - 70)

එබැවින්, කවරෙකු මෙවැනි තත්ත්වයක පසු වන්නේ ද, නැවත ඔහු ව පාපී කටයුතුවලට යොමු කරන ෂෙයිතාන්ගේ උගුල්වලට හසු නො වී සිටීම පිණිස ඔහු තම තව්බාව ආරක්ෂා කරගැනීමට උපරිම උත්සාහ කිරීම ඉතා අත්‍යාවශ්‍ය ය.

ඊමානයේ සුවය

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ සෘජු මාර්ගය හා නීතිරීතිවලින් වූ සැබෑ සතුට, සිත් සැනසීම හා උන්වහන්සේට සමීප වීමෙන් ඇති වන තෘප්තිය යනාදිය මඟින් වූ ඊමානයේ සුවය විඳීමට හැකි වන්නේ, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හා දේව දූතයාණන්ට අන් සියල්ලට ම වඩා ආදරය හා සෙනෙහස දක්වන්නා වූත්, කවුරුන් කෙතරම් දුරට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට සමීප වෙමින් නිවැරදි ව දහම අනුගමනය කරන්නේ ද, එතරම් දුරට ඔවුනට ආදරය හා සෙනෙහස දක්වන්නා වූත්, නිරා ගින්නෙන් වේඳනා විඳීම කෙසේ අප්‍රිය කරන්නේ ද, එලෙස ම නැවත කුෆ්රය වෙත යොමු වී නොමඟ යෑම, අප්‍රිය කරන්නා වූත් උදවියට පමණි. මේ පිළිබඳ ව දේව දූතයාණෝ මෙසේ දේශනා කොට ඇත්තාහ. “කවරෙකු සතුව කරුණු තුනක් ඇත්තේ ද ඔහු ඊමානයේ සුවය විඳිනු ඇත. ඒවා නම්, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හා දේව දූතයාණන් අන් සියල්ලට ම වඩා තමන් වඩාත් කැමතිම උදවිය බවට පත් වීම, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙනුවෙන් පමණක් කෙනෙකුට ආදරය කිරීම සහ නිරයට විසි කරනු ලැබීම පිළිකුල් කරන්නා සේ උත්තරීතර අල්ලාහ් කුෆ්රයෙන් තමන් ව බේරා ගැනීමෙන් පසු ව, නැවත කුෆ්රය (උත්තරීතර අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීම) වෙත යොමු වීම පිළිකුල් කිරීම යනාදිය යි.” (බුහාරි - 21, මුස්ලිම් - 43‍)

ධර්මයෙහි ස්ථීර ව සිටීම හා සියලු අපහසුතා ඉවසා සිටීම.

කෙනෙකු සතු ව මිල කළ නො හැකි නිධානයක් තිබේ නම්, එයට යම් හානියක් වීමෙන් සහ සොරුන්ගෙන් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කටයුතු කරනු නියත ය. එලෙස ම, ඉස්ලාමය ද මනුෂ්‍ය සමාජයට ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ලබා දුන්නා වූ මිල කළ නො හැකි අගනා ත්‍යාගයකි. ඉස්ලාමය හුදෙක් චින්තනයක් හෝ විනෝදාංශයක් නො ව මිනිස් ජීවිතයේ සෑම අංශයකට ම මඟ පෙන්වන සර්ව සම්පූර්ණ දහමකි. දේව දූතයාණන් සෘජු මාර්ගයෙහි සිටිනා හෙයින්, ඉස්ලාමීය හා අල් කුර්ආනීය ඉගැන්වීම්වලින් බැහැර නො වී, නිරතුරු ව ම ඒවා අනුගමනය කරන මෙන් දේව දූතයාණන්ට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අණ කර ඇත්තේ එනිසා ය. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “ඔබ වෙත පහළ කරන්නා වූ වහී හෙවත් දේව හෙළිදරව් තදින් ග්‍රහණය කරගන්න. නියත වශයෙන් ම ඔබ සෘජු මාර්ගයෙහි සිටින්නෙහිය.” (සූරා අස්සුක්රුෆ් - 43)

කෙනෙකු ඉස්ලාමයට පිවිසීමෙන් අනතුරු ව තමන්ට විවිධ අපහසුතා හා කරදරවලට මුහුණ පාන්නට සිදු වූවා යැයි දුකට හෝ කණගාටුවට පත් නො විය යුතු ය. මන් ද, එය උත්තරීතර අල්ලාහ් දෙවිදාණන් අපගේ ඊමානය පරීක්ෂා කර බැලීම සඳහා වූ ක්‍රමවේදයකි. අපටත් වඩා ශ්‍රේෂ්ඨ හා උසස් උදවිය කෙතරම් අපහසුතා හා දුක් කරදරවලට මුහුණ දී ඇත් ද? ඔවුහු ඒ සියලු අපහසුතා හා දුක් කරදරවල දී කණගාටුවට පත් නො වී, ඉවසිලිවන්ත ව කටයුතු කරමින් එම අපහසුතා අභිබවා යෑමට උත්සාහ කළහ. උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් සඳහන් කර ඇති පරිදි, දේව දූතයින්ගේ ජීවිතයෙහි ඔවුන් තම ඥාතීන්ගෙන් හා සතුරන්ගෙන් කෙතරම් දුක් කරදර හා අපහසුතාවලට ලක් ව ඇත් ද? එනමුත්, උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් කටයුතු කිරීමේ දී කෙතරම් බාධක, දුක් කරදර හා අපහසුතා පැමිණිය ද, ඔවුහු දුකට පත් ව, අධෛර්යමත් වී අල්ලාහ්ගේ ධර්මය පිළිබඳ විශ්වාසය අත් හැර දැමීමට හෝ එයින් බැහැර වීමට හෝ කිසිවිටකත් නො සිතූහ. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් එවැනි අපහසුතා ඇති කරන්නේ, ඔබගේ ඊමානයේ සත්‍යවන්ත භාවය හා ශක්තිමත් භාවය පරීක්ෂා කර බැලීමට ය. එබැවින්, ඔබත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ එවැනි පරීක්ෂණවලට මුහුණ දී උන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඊමානය තහවුරු කිරීමට උත්සාහ කරන්න. එමෙන් ම, උන්වහන්සේගේ ධර්මය නිවැරදි ව අනුගමනය කරන්න. තවද, “සිත් වෙනස් කරන්නාණෙනි! මාගේ සිත ඔබේ දහමෙහි ස්ථීර කරනු මැන!” (තිර්මිදි - 2140) යනුවෙන් දේව දූතයාණන් වැඩිවැඩියෙන් ප්‍රාර්ථනා කළා සේ ඔබත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගෙන් ප්‍රාර්ථනා කරන්න.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.