වත්මන් කොටස: model:
පාඩම සලාතය තුළ බියබැතිමත්කම
එය සලාතයේ යථාර්ථය සහ එහි සාරය වන අතර, එයින් අදහස් කරන්නේ දෙවිඳාණන් ඉදිරියෙහි සලාතය ඉටු කරන්නාගේ හදවත යටහත් පහත් ලෙස තබා ගැනීම ය. එමෙන්ම එහි අන්තර්ගත පාඨවල සහ අල්කුර්ආන් වැකි හා ප්‍රාර්ථනාවන් පවසන දෑ සිහියට ගැනීම ය.
සලාතය තුළ බියබැතිමත්කම වනාහි ඉතාශ්‍රේෂ්ඨ නැමදුමකි. ශුද්ධ වූ අල්කුර්ආනයෙහි උත්තරීතර අල්ලාහ් ඒ ගැන තහවුුරු කළේ එබැවිනි. "දෙවිඳා පිළිබඳ විශ්වාසය ඇත්තෝ සැබැවින් ම ජය ලැබුවෝ ය. ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති." (අල් මුඃමිනූන් 1-2)
කවරෙකු සලාතය තුළ බියබැතිමත් ලෙස කටයුතු කළේද ඔහු සැබැවින් ම නැමදුමෙහි හා දේව විශ්වාසයෙහි සාරය හා එහි රුචිය හඳුනා ගනු ඇත. "මාගේ නෙත් සිසිළ මාගේ සලාතය තුළ ඇති කරන ලදි" යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. (අන් නසාඊ 3940) නෙත් සිසිල යනු සතුට, ප්‍රිතිය, සන්සුන්කම හා රුචිය යන්න වේ.
සලාතයේ බියබැතිමත්කම සඳහා වන මාධ්‍යයන්
එය මෙසේ සිදු විය යුුතුයි. පිරිමින් වේලාසනින් දේවස්ථානය වෙත පැමිණීම, සලාතයට පෙර වූ සුන්නාහ් ඉටු කිරීම, සුදුසු සහ අලංකාර ඇඳුම් ඇඳීම සහ ගෞරවයෙන් හා සන්සුන්ව සලාතය වෙත පැමණීම.
ඔහු ඉදිරියෙහි රූප, වෙනත් බාධා කිරීම් හෝ තමාව වෙනතකට යොමු කරවන ශබ්ද ඇසෙන විට හෝ සලාතය ඉටු නො කළ යුතුයි. වැසිකිළි අවශ්‍යතා තිබුණේ නම් හෝ කෑම බීම ඉදිරියේ කුසගින්නෙන් හෝ පිපාසයෙන් සිටින විට සලාතය වෙත නො පැමිණිය යුතුයි. තවද මේ සියල්ල සලාතය ඉටු කරන්නාගේ මනස නිරවුල් කර ගැනීමටත්, තමා වෙතට පැමිණෙන මහා කාරණාව වන ඔහුගේ සලාතය සහ ඔහුගේ ස්වාමියා වෙත කරන ආයාචනය ගැන කල්පනාකාරී වීම සඳහා ඉදිරිපත් කෙරෙන කරුණු ය.
ධර්ම දූතයාණන් තම සලාතයේ රුකූඋ හා සුජූද් අවස්ථාවල සියලු ඉන්ද්‍රින් ඒ ඒ තැන්වලට පැමිණ අවසන් වන තුරු සන්සුන්ව කටයුතු කරනු ඇත. එමෙන්ම සලාතය නිවැරදිව නො කළ අයෙකුට සම්පූර්ණ සලාතයෙහි ම සන්සුන් ව කටයුතු කරන මෙන් නියෝග කළහ. එමෙන් ම එතුමාණන් වේගය තහනම් කළ අතර එය කපුටෙකුගේ කෙටීමට සමාන කළේ ය.
තවද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: " 'සොරකම් කරන තැනැත්තන් අතරින් නරක ම තැනැත්තා කවරහුදයත් සලාතයේ සොරකම් කරන තැනැත්තා ය.' 'එවිට අහෝ නබිතුමණි! කෙනෙකු සලාතයේ සොරකම් කරන්නේ කෙසේ ද?' යනුවෙන් එතැන් සිටි අය විමසුවෝ ය. 'ඔහු රුකූඋ හා සුජූද් සම්පූර්ණ නො කරනු ඇත' යනුවෙන් එතුමාණන් පිළිතුරු දුන්හ." (අහ්මද් 22642) කවරෙකු සලාතයෙහි සන්සුන් ව කටයතු නො කරයි ද ඔහුට එහි බියබැතිමත්කමින් කටයුතු කළ නො හැකි ය. මන්ද වේගය බියබැතිමත්කම පහ කරනු ඇත. කපුටකුගේ කෙටීම මෙන් වේගයෙන් හැසිරීම මඟින් කුලිය ද පහ වී යනු ඇත.
ඔහු මැවුම්කරුගේ ශ්‍රේෂ්ඨත්වය සහ තේජස, සහ තමාගේ දුර්වලකම හා නින්දාව සිහිපත් කළ යුතුයි, ඔහු තම ස්වාමියා ඉදිරියෙහි සිට ගෙන, උන් වහන්සේට කන්නලව් කරමින්, යටත්ව ඔහුව කැඳවිය යුතුයි. තවද, ඔහු දෙවිඳාණන් ඇදහිලිවන්තයන් සඳහා පරලොව දී සූදානම් කර ඇති දේ සහ බහුදේවවාදීන් සඳහා ඔහු සූදානම් කර ඇති දේ සිහිපත් කළ යුතුයි, එමෙන් ම ඔහු පරලොව දෙවියන් ඉදිරියේ තම පිහිටීම කෙසේ වේ දැයි එහි දී සිහිපත් කළ යුතුයි.
අල් කුර්ආනය පහළ වූයේ පරිශීලනය කිරීම සඳහා ය. ඒ බව මෙසේ සඳහන් වේ: "(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිය ඇත්තන් මෙනෙහි කරනු පිණිසත් (අපි එය පහළ කළෙමු.)" (සාද් 29)