දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම දේව දූත මුහම්මද්තුමාණන්ට පහළ කරන ලද රිසාලතය හෙවත් දේව පණිවිඩය

දේව දුතයාණන්ගේ පෞරුෂත්වය, ගරුත්වය හා තරාතිරම මෙන් ම සුන්නාව පිළිබඳ හඳුනා ගැනීම

  • දේව දූතයින් මෙලොවට යැවීමට බලපෑ හේතුව හඳුනා ගැනීම.
  • අන් අයට වඩා දේව දූත මුහම්මද්තුමාණන්ට හිමි ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ධර්ම දූතයින් කෙරෙහි මිනිස් සමාජයේ අවශ්‍යතාව

සෑම සමූහයකටම අනතුරු අඟවන්නෙකු යැවීම සර්ව බලධාරී දෙවියන්ගේ ප්‍රඥාවට අනුව සිදු වූවකි. ඔවුන් මෙලොව සහ මතුලොවෙහි යහපත ගැබ් වී ඇති ආගම සහ මඟ පෙන්වීම යනාදියෙන් ගැත්තන් වෙනුවෙන් අල්ලාහ් පහළ කළ දේ ඔවුනට පහැදිලි කර දීම ඒ අනතුරු අඟවන්නාගේ කාර්‍යය වේ.

මෙලොව හා පරලොව සතුට හා ජයග්‍රහණය ලබා ගැනීමට ද යහපත හා අයහපත දැනගැනීමට ද උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ තෘප්තිය ළඟා කරගැනීමට ද ඔවුන්ගෙන් තොර වෙනත් කිසිදු මඟක් නොමැත. යහපත් ක්‍රියා, යහපත් ප්‍රකාශ හා යහපත් ගුණධර්ම යනු ඔවුන්ගේ ඉගැන්වීම්, ආදර්ශ හා මඟ පෙන්වීම් ය.

මහම්මද්තුමාණෝ එක් පණිවිඩකරුවෙකු හා ධර්ම දූතවරයෙකු බව විශ්වාස කිරීම

මුහම්මද්තුමාණෝ වනාහි අල්ලාහ්ගේ ගැත්තෙකු හා ඔහුගේ ධර්ම දූතයකු බව අප විශ්වාස කරන්නෙමු. එතුමා ප්‍රථම හා අවසාන අයවලුන්ගේ නායකයාය. එතුමා පණිවිඩකරුවන්ගේ අවසානයාය. එතුමාට පසු වෙනත් නබිවරයකු නැත. තවද එතුමාණන් දේව පණිවිඩය දන්වා අවසන් කළහ. එතුමාගේ වගකීම නිසි අයුරින් සම්පූර්ණ කළහ. තම සමූහයා වෙත යහපත උපදෙස් කළහ. අල්ලාහගේ මාර්ගයේ සැබෑ ලෙස කැප වෙමින් කටයුතු කළහ.

“මුහම්මද් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ රසූල්වරයා වේ.” (සූරා අල්ෆත්හ් - 29)

එතුමාණන් දැනුම් දුන් කරුණු සියල්ල සත්‍යය යැයි විශ්වාස කිරීම, එතුමාණන්ගේ අණට අවනත වීම, එතුමාණන් වැළැක් වූ කරුණුවලින් දුරස් වී සිටීම, එතුමාණන්ගේ සුන්නාවට අනුව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව නැමදීම හා එතුමාණන් ව ආදර්ශයක් ලෙස ගෙන කටයුතු කිරීම යනාදිය අපට වාජිබ් හෙවත් අනිවාර්ය වේ.

නබිවරුන් හා රසූල්වරුන් අතුරින් අවසානයා

මුහම්මද්තුමාණෝ (එතුමාණන් උත්තරීතර අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ධර්ම දූතවරුන් හා පණිවිඩකරුවන් අතරින් අවසානයා වෙති. එතුමාණන්ගෙන් පසු කිසිදු නබිවරයෙක් පහළ නොවේ. එතුමාණන් හට පහළ වූ රිසාලතය (දේව පණිවිඩය) මීට පෙර පහළ වූ දේව පණිවිඩවල අවසානය වන අතර, එතුමාණන් හට පහළ වූ දහම සියලු ම දහම් අතරින් අවසන් දහම වේ.

“මුහම්මද් ඔබලාගේ පිරිමින් අතුරින් කිසිවෙකුගේත් පියෙක් නොවීය. නමුත්, ඔහු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ දූතයා හා නබිවරුන්ගෙන් අවසානයා වේ.” (සූරා අල් අහ්සාබ් - 40)

දේව දූතයාණන් දේශනා කළ බවට අබූ හුරෙයිරාතුමා මෙසේ වාර්තා කරයි. “මාගේ තත්ත්වයත් මට පෙර සිටි නබිවරුන්ගේ තත්ත්වයත්, පුද්ගලයෙකු නිවසක් ගොඩ නගා, පසු ව එය හොඳින් අලංකාර කොට, (එහි) ගඩොල් කැටයක ප්‍රමාණයකින් යුත් ස්ථානයක් පමණක් අත් හැර දැමූ පුද්ලයෙකුගේ තත්ත්වයට සමාන ය. ජනතාව එය නරඹා, එහි අලංකාරත්වය පිළිබඳ විශ්මයට පත් ව, ‘එම ගඩොල් කැටයත් (මෙම ස්ථානයේ) තබා තිබුණේ නම්!’ යැයි පවසති. එම ගඩොල් කැටය මම වෙමි. තව ද, මම නබිවරුන්ගෙන් අවසානයා වෙමි.” (බුහාරි - 3535)

නබිවරුන් හා රසූල්වරුන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා

අපගේ නබිවරයා වන දේව දූත මුහම්මද්තුමාණෝ නබිවරුන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා පමණක් නොව, සියලු ම මිනිසුන් අතුරින් ද ශ්‍රේෂ්ඨතමයා මෙන් ම, ඔවුන් අතුරින් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අබියස තරාතිරමෙන් හා තත්ත්වයෙන් වඩාත් ශ්‍රේෂ්ඨතමයා ය. උන්වහන්සේ එතුමාණන්ගේ උසස් තත්ත්වයකට පත් කොට ඇත්තාහ. තව ද, එතුමාණෝ මිනිසුන් අතුරින් වඩාත් ගෞරවණීය ම හා කීර්තිමත් ම පුද්ගලයා වෙති. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙලෙස සඳහන් ය. “ඔබ වෙත උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ ධර්ම පුස්තකය හා ප්‍රඥාව පහළ කළහ. තව ද, ඔබ නොදැන සිටි දෑ ඔබට ඉගැන්වූහ. ඔබ කෙරෙහි වූ උන්වහන්සේගේ භාග්‍යය ඉමහත් ය.” (සූරා අන් නිසා - 113)

එතුමාණෝ ආදම්ගේ දරුවන්ගේ නායකයා ය. කියාමත් දිනයේ දී කබ්ර් හෙවත් මිනී වළෙන් ප්‍රථමයෙන් ම පිටතට පැමිණෙන්නේ එතුමාණන් ය. තව ද, ප්‍රථම ෆාෂිඃ (අල්ලාහ් අබියස ජනයා වෙුනවෙන් මැදිහත් වන්නා) ද මුෂෆ්ෆඃ (මැදිහත් වීම පිළිගනු ලබන්නා) ද එතුමාණන් ය. කියාමත් දිනයේ දී “හම්ද්” නැමැති ධජය ඇත්තේ ද එතුමාණන්ගේ අතෙහි ය. එපමණක් නොව, ප්‍රථමයෙන් ම “සිරාත්” නැමැති පාලම තරණය කරන්නේ ද ස්වර්ගයේ දොරට තට්ටු කරන්නේ ද ස්වර්ගයට පිවිසෙන්නේ ද එතුමාණන් ය.

ලෝකයාට දයාවක් වශයෙන් අල්ලාහ් මුහම්මද්තුමාණන් එවා ඇත. එතුමාගේ දේව පණිවිඩය ජින් හා මිනිසුන් යන දෙකොටසටම පොදු වූ දේව පණිවිඩයක් මෙන්ම මුළු මානව සමාජයටම පොදු වූ දේව පණිවිඩයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු. (අල් අන්බියා: 107)

ලෝකයාට දයාවකි

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ උතුම් අල් කුර්ආනයේ මෙසේ දේශනා කරති. “(නබිතුමනි,) අපි ඔබ ව මුළු මහත් මනුෂ්‍ය සමාජයට ම යවා ඇත්තෙමු.” (සූරා අස්සබඃ - 28) “(නබිතුමනි,) ‘මා ඔබ සියලු දෙනාට ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් එවන ලද දූතයෙකු වෙති’යි ඔබ (ඔවුනට) පවසන්න.” (සූරා අල් අඃරාෆ් - 158)

-

ධර්ම දූත මුහම්මද්තුමාණන් කෙරෙහි විශ්වාසය තැබීම හා එතුමාණන්ගේ දේව පණිවිඩය පිළිපැඳීම අනිවාර්ය වීම

ධර්ම දූත මුහම්මද්තුමාණන්ගේ දේව පණිවිඩය හෙළිදරව් වීමත් සමඟ ඊට පෙර පහළ වූ සියලු ම දේව පණිවිඩ ප්‍රතික්ෂේප විය. එනිසා, දේව දූත මුහම්මද්තුමාණන් ව පිළිපැඳීම හැර වෙනත් කිසිවක් දහමක් වශයෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ පිළිනොගනිති. එතුමාණන්ගේ මඟ අනුගමනය කිරීමෙන් තොර ව කිසිවෙකුටත් ස්වර්ගයට පිවිිසිය නොහැක. එතුමාණෝ රසූල්වරුන් අතුරිින් වඩාත් ගෞරවාන්විතම රසූල්වරයා වෙති. එතුමාණන්ගේ සමාජය අනෙකුත් සමාජවලට වඩා ශ්‍රේෂ්ඨතම සමාජය වේ. එතුමාණන්ගේ (ෂරීආව) විනය හා නීති පද්ධතිය පරිපූර්ණ ම විනය හා නීති පද්ධතිය වේ.

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ දේශනා කරති. “ඉස්ලාමය නොවන (වෙනත්) දහමක් කවරෙකු සොයන්නේ ද එය ඔහුගෙන් පිළිගනු නොලබන්නේ ම ය. තව ද, ඔහු පරලොවෙහි අලාභවන්තයින්ගෙන් කෙනෙක් වන්නේය.” (සූරා ආලු ඉම්රාන් - 85)

දේව දූතයාණන් දේශනා කළ බවට අබූ හුරෙයිරාතුමා මෙසේ වාර්තා කරයි. “මෙම සමාජයෙන් කවරෙකු හෝ ඔහු යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු වුව ද, මා පිළිබඳ ආරංචි වී, මා යවනු ලැබූ දේ (ඉස්ලාම් දහම) කෙරෙහි විශ්වාස නොකර, මරණයට පත් වන්නේ ද, ඔහු නිරවාසීන්ගෙන් කෙනෙකු ම වෙති යැයි මාගේ ප්‍රාණය කවරෙකුගේ අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි.” (අහ්මද් - 8609)

ධර්ම දූතයාණන්ට පහළ වූ දේව පණිවිඩය තහවුරු කරන එතුමාණන්ගේ ප්‍රාතිහාර්යයන්

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ දේව දූතයාණන් මඟින් පැහැදිලි සාධක හා අතිශය විශ්මයජනක ප්‍රාතිහාර්යයන් සිදු වීමට ඉඩ හැරියහ. ඒවායෙහි එතුමාණන්ගේ වකෘත්වය හා දේව පණිවිඩයෙහි සත්‍යයතාව තහවුරු කරන කරුණු හා සාක්ෂි අන්තර්ගත ය. එවැනි ප්‍රාතිහාර්යයන්ගෙන් කිහිපයක් මෙසේ සඳහන් කළ හැක.

උතුම් අල් කුර්ආනය

ධර්ම දූතයාණන්ට ලබා දුන් ප්‍රාතිහාර්යයන් අතුරින් ශ්‍රේෂ්ඨතම හා විශිෂ්ඨතම ප්‍රාතිහාර්යය වන්නේ මිනිස් මනස හා බුද්ධිය යන දෙක ම ආමන්ත්‍රණය කරන උතුම් අල් කුර්ආනය යි. එය, ලෝක අවසානය දක්වා ම කිසිදු වෙනස් වීමකට හෝ විකෘති වීමකට ලක් නොවී, සුරක්ෂිත ව පවතින්නා වූ සාධකයක් හා ප්‍රාතිහාර්යයක් වේ. උතුම් අල් කුර්ආනය එහි භාෂාවෙහි ද ශෛලියෙහි ද නීති පද්ධතියෙහි ද තොරතුරු හා කතා වස්තූන්හි ද ඉමහත් ආශ්චර්යයක් හා ප්‍රාතිහාර්යයක් වශයෙන් පවතී.

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් උතුම් අල් කුර්ආනයෙහි මෙසේ දේශනා කරති. “මෙම උතුම් අල් කුර්ආනය මෙන් යමක් ගෙන ඒමට මිනිසුන් හා ජින්වරුන් ඒකරාශී වී, ඔවුන්ගෙන් එකිනෙකා අනෙකාට උදව්කරුවන් ලෙස සිටිය ද, කිසිසේත් ම එවැන්නක් ගෙන ඒමට ඔවුනට නොහැකි ය යැයි (නබිවරය) ඔබ පවසන්න.” (සූරා අල් ඉස්රාඃ - 88)

චන්ද්‍රයා දෙපළු වීම

මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “විනිශ්චය දිනය ළඟා විය. චන්ද්‍රයා ද දෙපලු විය. තව ද, ඔවුහු යම් සාධකයක් දුටු විට (එයට) පිටුපා ‘(එය) අනිත්‍ය වූ හූනියමක්’ යැයි පවසති.” (සූරා අල් කමර් - 1,2) මෙම සිදුවීම ධර්ම දූතයාණන්ගේ ජීවිත කාලයේ දී සිදු වූ අතර, එකල ජීවත් වූ කුරෙයිෂිවරු හා අනෙකුත් උදවිය ද එම සිදුවීම සියැසින් දුටූහ.

ධර්ම දූතයාණන් ඉදිරියේ ස්වල්ප ආහාරය ද අධික වීම

එය කෙසේදයත් එතුමාණන් සමඟ සිටියවුන් එයින් අනුභව කර ඉන් ඉතිරි වන තරමට එම ආහාරය අධික වේ. සමුරත් බින් ජුන්දුබ් (රළි) තුමාණන් විසින් වාර්තා කරන ලද වාර්තාව ද ඉන් එකකි. එතුමා මෙසේ පවසයි: අපි නබි (සල්) තුමාණන් සමඟ සිටියදී, කැඳ සහිත පාත්‍රයක් ගෙන එන ලදී. එතුමා ද එතුමා සමඟ සිටිය අයද එයින් අනුභව කළහ. ඔවුන් එය මධ්‍යාහ්න වේලාව ළඟා වන තුරු එය තමන් අතර බෙදා ගනිමින් ම සිටියහ. ඔවුන් නැඟිට ගිය පසු වෙනත් කණඩායමක් පැමිණ එයින් අනුභව කළේය. (මුස්නද් අහ්මද් 20135)

ධර්ම දූතයාණන් ගයිබ් හෙවත් ගුප්ත දෑ පිළිබඳ දැනුම් දීම

එලෙස දැනුම් දුන් දෑ ඒ අයුරින් ම සිදු වේ. එසේ දැනුම් දුන් දෑ අතරින් බොහෝමයක් මේ වන විට සිදු ව අවසන් ය. තවත් බොහෝමයක් දෑ සිදුවෙමින් පවතිනු අපට දැකගත හැකි අතර, ඉදිරි කාලවල දී ද එලෙස දැනුම් දුන් දෑ සිදු වනු දැකගත හැකි වනු ඇත.

අනස් බින් මාලික්තුමා මෙසේ වාර්තා කරයි. “උමර්තුමා ඔවුනට බද්ර් යුද්ධයට සහභාගී වූ උදවිය පිළිබඳ සඳහන් කළේය. එහි දී එතුමා මෙසේ සඳහන් කළහ. ‘ඉන්ෂා අල්ලාහ් මෙය අහවල් පුද්ගලයා මරණයට පත් වන ස්ථානය යැයි දේව දූතයාණන් බද්ර් යුද්ධයට සහභාගී වූ උදවිය මරණයට පත් වන ස්ථානය ඊට දවසකට පෙර ම අපට පෙන්වා දුන්හ. (මරණයට පත් වීමේ දී) දේව දූතයාණන් සළකුණු කර පෙන් වූ ස්ථානය ඔවුන් අභිබවා නොගියහ යැයි සත්‍ය දහම සමඟින් දේව දූතයාණන් ව යැවූ උන්වහන්සේ මත දිවුරා පවසමි.” (මුස්ලිම් - 2873)

මුස්ලිම් සමාජය විසින් ධර්ම දූතයාණන් කෙරෙහි ඉටු කළ යුතු යුතුකම් හා වගකීම්

එලෙස ඉටු කළ යුතු වගකීම් බොහෝමයක් ඇති අතර, ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැක.

1. ධර්ම දූතයාණන්ගේ නුබුව්වතය හෙවත් වක්තෘත්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම.

ධර්ම දූතයාණන්ගේ නුබුව්වතය හා රිසාලතය හෙවත් දේව පණිවිඩය කෙරෙහි විශ්වාස කළ යුතු අතර, එතුමාණන්ගේ රිසාලතය මඟින් පෙර පහළ වූ දේව පණිවිඩ සියල්ල අවලංගු වන බව ද විශ්වාස කළ යුතු ය.

2. ධර්ම දූතයාණන්ගේ සත්‍යයතාවය පිළිගැනීම.

එතුමාණන් දැනුම් දුන් දෑ සත්‍යය යැයි පිළිගැනීමත් එතුමාණන් අණ කළ දෑ ඉටු කිරීමත් වැළැක් වූ කරුණුවලින් දුරස් වී සිටීමත් එතුමාණන්ගේ මඟ පෙන්වීම් අනුව පමණක් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව නැමදීමත් අනිවාර්ය වේ. “දේව දූතයාණන් නුඹලාට ලබා දී ඇති දෑ අරගනු. එතුමාණන් වළක්වා ඇති කරුණුවලින් දුරස් වී සිටිනු.” (සූරා අල් හෂ්ර් - 07)

3. ධර්ම දූතයාණන් රැගෙන ආ සියල්ල ප්‍රතික්ෂේප නොකොට පිළිගැනීම.

දේව දූතයාණන් රැගෙන ආ සියල්ල ප්‍රතික්ෂේප කිරීමෙන් තොර ව පිළිගැනීමත් එතුමානන්ගේ සුන්නාව පිළිපැදීමත් එතුමාණන්ගේ මඟ පෙන්වීම්වලට ගෞරවණීයත්වයක් ලබා දීමත් අනිවාර්ය වේ. “තමන් අතර ඇති වූ ආරවුලේ දී ඔවුන් ඔබ ව සැබෑ විනිශ්චයකරුවෙකු ලෙස පිළිගෙන, ඔබගේ විනිශ්චය පිළිබඳ තම සිතෙහි කිසිදු අකැමැත්තකින් තොර ව, සම්පූර්ණයෙන් ම ඊට අවනත වන තුරු ඔවුහු සැබෑ විශ්වාසවන්තයෝ නොවෙති.” (සූරා අන් නිසා - 65)

4. ධර්ම දූතයාණන්ගේ අණට පිටුපෑමෙන් ප්‍රවේශම් වීම.

අප සියලු දෙනා ම දේව දූතයාණන්ගේ අණට පිටුපා කටයුතු කිරීමට යෑමෙන් ප්‍රවේශම් විය යුතු ය. මන් ද යත්, එසේ එතුමාණන්ගේ අණට පිටුපෑම අහිතකර යමක් ඇති වීමටත් නොමඟ යෑමටත් වේදනීය දඬුවම්වලට ලක් වීමටත් ප්‍රධාන හේතුවක් වේ. “කවරෙක් එතුමාණන්ගේ අණට පිටුපා කටයතු කරන්නෝ ද, ඔවුහු තමන්ට යම්කිසි විපතක් ඇති වීමෙන් හෝ වේදනා ගෙන දෙන දඬුවමකට ලක් වීමෙන් ප්‍රවේශම් වෙත්වා!” (සූරා අන්නූර් - 63)

5. අන් සියලු ම උදවියට වඩා දේව දූතයාණන් කෙරෙහි ආදරය හා සෙනෙහස දැක්වීම.

තමන්, තම දරුවන්, දෙමව්පියන් ඇතුළු අන් සියලු ම දෙනාට වඩා දේව දූතයාණන් කෙරෙහි ආදරය හා සෙනෙහස දැක්වීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ. “යමෙකුට තම දරුවන්, දෙමව්පියන් ඇතුළු අනෙකුත් සියලු ම දෙනාට වඩා ඔහු වඩාත් ම ආදරය කරන පුද්ගලයා වශයෙන් මා පත් නොවනා තුරු, ඔබලා අතුරින් කිසිවෙක් සැබෑ විශ්වාසවන්තයෙක් නොවේ.” (මූලාශ්‍රය: බුහාරි - 15)

6. ධර්ම දූතයාණන් තමන්ට පහළ වූ දේව පණිවිඩය සම්පූර්ණයෙන් ම ප්‍රචාරය කළ බවට විශ්වාස කිරීම.

මේ අනුව, දේව දූතයාණන් තමන්ට පහළ වූ දේව පණිවිඩය සම්පූර්ණයෙන් ම ප්‍රචාරය කළ බවත් එතුමාණන්ට පැවරූ අමානත් හෙවත් වගකීම නිසියාකාර ව ඉටු කළ බවත් විශ්වාස කිරීම අනිවාර්ය වේ. එමෙන් ම, එතුමාණන් යම් යහපතක් වේ නම්, ඒ පිළිබඳ සමාජයට මඟ පෙන්වූ බවත්, ඒ කෙරෙහි අප ව උනන්දු කළ බවත්, යම් අයහපතක් වේ නම්, ඒ පිළිබඳ සමාජයට අනතුරු අඟවා, ඔවුන් ව එයින් වැළැක් වූ බවත් විශ්වාස කළ යුතු ය. “අද දින ඔබලාගේ දහම ඔබලාට මම පරිසමාප්ත කර ඇත්තෙමි. තව ද, මාගේ දායාදයන් ඔබලා කෙරෙහි පරිපූර්ණ කර ඇත්තෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම පිළිගත්තෙමි.” (සූරා අල්මාඉදා - 03)

සහාබාවරුන් අති විශාල ප්‍රමාණයක් ඒකරාශී වී සිටි හජ්ජතුල් වදා හෙවත් අවසන් හජ් දේශනය සිදු වූ දිනයේ දී දේව දූතයාණන් තමන්ට පහළ වූ දේව පණිවිඩය කිසිදු අඩුවකින් තොර ව සම්පූර්ණයෙන් ම ප්‍රචාරය කළ බවට ඔවුහු සාක්ෂි දැරූහ. දේව දූතයාණන් පැවසූ බවට ජාබිර්තුමා මෙසේ වාර්තා කරයි. “(විනිශ්චය දිනයේ දී) මා පිළිබඳ ව ඔබලාගෙන් විමසනු ඇත. එවිය ඔබලා කුමක් පවසන්නෙහු ද? එයට සහාබාවරු ‘නියත වශයෙන් ම ඔබ (දේව පණිවිඩය) ප්‍රචාරය කළ බවටත් (අමානත් හෙවත් පවරන ලද වගකීම) ඉටු කළ බවටත් (සමාජයට) අවවාද අනුශාසනා ලබා දුන් බවටත් අප සාක්ෂි දරති’යි පැවසූහ. අනතුරු ව, දේව දූතයාණෝ තම දබර ඇඟිල්ල අහස දෙසට දිගු කර, පසු ව සහාබාවරුන් වෙත දිගු කරමින් ‘අල්ලාහ් දෙවියනි, ඔබ සාක්ෂි දරත්වා! අල්ලාහ් දෙවියනි, ඔබ සාක්ෂි දරත්වා!’ යනුවෙන් පැවසූහ.” (මුස්ලිම් - 1218)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.