දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම මලාඉකාවරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාස කිරීම.

දේවදූතයන් පිළිබඳ විශ්වාසය , විශ්වාසයේ කුළුණුවලින් එකකි. මෙම පාඩමේදී, ඔබ ඔවුන්ගේ යථාර්ථය, ඔවුන්ගේ ලක්ෂණ, ඔවුන්ගේ සමහර ක්‍රියාවන් සහ ඔවුන් විශ්වාස කිරීමේ අර්ථය ගැන ඉගෙන ගනු ඇත.

  • සුර දූතයින්  කෙරෙහි විශ්වාසය තැබීමේ තේරුම සහ එහි වැදගත්කම ගැන දැන ගැනීම.
  • ඔවුන්ගේ ලක්ෂණ සහ කාර්යයන් කිහිපයක් ගැන දැන ගැනීම.
  • ඔවුන් පිළිබඳ විශ්වාසය ඇති කර ගැනීමේ ඵල ගැන දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීම යනු කුමක් ද?

මලාඉකාවරුන් සිටිනා බවටත් ඔවුන් මිනිසුන් හා ජින්වරුන් නො වන, වෙනම ම අදෘෂ්‍යමාන ජීවී කොට්ඨාශයක් බවත්, ඔවුන් ඉතා ගෞරවණීය හා සැදැහැවත් උදවිය බවත්, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව නිසි අයුරින් නමදින්නන් බවත්, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් අණ කරන සියල්ල නො පිරිහෙලා ඉටු කරන බවත්, කිසිදා උන්වහන්සේට පිටුපා කටයුතු නො කරන බවත් තරයේ විශ්වාස කිරීම වේ. උතුම් අල් කුර්ආනයේ මේ පිළිබඳ මෙසේ සඳහන් වේ. “ඔවහු ඉතා ගෞරවණීය ගැත්තෝ වෙති. (කිසිදු විටක) උන්වහන්සේ (යමක්) පැවසීමට ප්‍රථම, මොවුහු කිසිවක් නො පවසති. ඔවුහු උන්වහන්සේගේ අණ පරිදි ම කටයුතු කරති.” (සූරා අල් අන්බියා - 26,27)

මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීමේ වැදගත්කම.

මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීම අර්කානුල් ඊමාන් හෙවත් මුස්ලිම්වරයෙකු අනිවාර්යෙන් ම විශ්වාස කළ යුතු මූලික කරුණු හයෙන් එකකි. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “(අපගේ) දූතයාණෝ (මුහම්මද්) තමන්ගේ පරමාධිපතියාණන්ගෙන් තමන් හට පහළ කරනු ලැබූ දෑ පිළිබඳ විශ්වාස කළහ. එමෙන් ම, මුඃමීන්වරු (විශ්වාසවන්තයෝ) ද ඒවා විශ්වාස කළහ. ඔවුහු සියල්ලෝ ම උත්තරීතර අල්ලාහ් ව ද, උන්වහන්සේගේ මලාඉකාවරුන් ව ද, උන්වහන්සේගේ ධර්ම පුස්තක ද, උන්වහන්සේගේ (රසූල්වරුන්) දූතයන් ව ද විශ්වාස කළහ." (සූරා අල් බකරා - 285) තවද, දේව දූත මුහම්මද්තුමාණන් ද ඊමානය (විශ්වාසය) පිළිබඳ පැවසීමේ දී ඊමානය යනු “උත්තරීතර අල්ලාහ් පිළිබඳ ද, උන්වහන්සේගේ මලාඉකාවරුන් පිළිබඳ ද, උන්වහන්සේගේ ධර්ම පුස්තක පිළිබඳ ද, අවසන් දිනය පිළිබඳ ද, යහපත හෝ අයහපත උත්තරීතර අල්ලාහ්ගේ නියමය පරිදි සිදු වන බව ද විශ්වාස කිරීම වේ” යනුවෙන් පවසා ඇත. (මූලාශ්‍රය: මුස්ලිම් - 08)

මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීම සෑම මුස්ලිම්වරයෙකුට ම අනිවාර්ය වේ. එය ප්‍රතික්ෂේප කරන්නා සැබැවින් ම නොමඟ ගිය කෙනෙකු බවට පත් වේ. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “කවරෙකු අල්ලාහ් ව ද, ඔහුගේ මලායිකාවරුන් ව ද, ඔහුගේ ධර්ම පුස්තක ද, ඔහුගේ දූතයින් ව ද, අවසාන දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද, නියත වශයෙන් ම ඔහු (සත්‍යයෙන්) වඩාත් දුරස් වූ දුර්මාර්ගයෙහි ම ගමන් කරන්නේ ය.” (සූරා අන් නිසා - 136) මේ අනුව, ඊමානයේ මූලිකාංග වන මෙම කරුණු ප්‍රතික්ෂේප කිරීම කුෆ්ර් හෙවත් ඉස්ලාමය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඉස්ලාමයෙන් බැහැර වීමක් ලෙස සැලකේ.

අහසෙහි සිටින්නන් (අධික වීම) හේතුවෙන් අහසෙහි බර වැඩි වූ බවත් එහි සිටගෙන නමදිමින් සිටින හෝ රුකූ කරමින් සිටින හෝ සුජූද් කරමින් සිටින මලක්වරයෙකු නොමැති වියතක ප්‍රමාණයක හෝ අවකාශයක් නොමැති බවත් දේව දූත මුහම්මද්තුමාණන් දැනුම් දී ඇත.

මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීමෙහි අන්තර්ගත කරුණු මොනවා ද?

١
ඔවුන්ගේ පැවැත්ම සත්‍යය බවත් ඔවුන් උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ මැවීමක් බවත් විශ්වාස කිරීම.
٢
ජිබ්රීල්, මීකාඊල්, මාලික් යනුවෙන් ඔවුන් අතුරින් අප නම් වශයෙන් දන්නා උදවිය නම් වශයෙන් ද, එලෙස නම් වශයෙන් නො දන්නා උදවිය පොදුවේ ද විශ්වාස කිරීම.
٣
ඔවුන්ගේ ගුණාංග අතුරින් අප දන්නා දෑ පිළිබඳ විශ්වාස කිරීම.
٤
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අණ පරිදි ඔවුන් ඉටු කරන කටයුතු අතුරින් අප දන්නා දෑ පිළිබඳ විශ්වාස කිරීම.

මලාඉකාවරුන්ගේ ගුණාංග හා ස්වභාවය විශ්වාස කිරීම

١
ඔවුන් වෙනම ම ආදෘෂ්‍යමාන ජීවී කොට්ඨාශයක් වීම. ඔවුහු නිතර ම පාහේ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් නමදිමින් සිටිති. ඔවුනට උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ රුබූබියියා (පරමාධිපත්‍යය) සහ උලූහියියා (දේවත්වය) හා සම්බන්ධ ගුණාංග කිසිවක් නොමැත. ඔවුහු උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අණට සම්පූර්ණයෙන් ම අවනත ව කටයුතු කරන උන්වහන්සේගේ ගැත්තෝ වෙති. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ඔවුන් පිළිබඳ මෙසේ පවසා ඇත. “ඔවුහු උත්තරීතර අල්ලාහ්ගේ අණට පිටු නො පාන අතර, ඔවුනට අණ කරනු ලබන පරිදි ම කටයුතු කරති.” (සූරා අත්තහ්රීම් - 06)
٢
ඔවුන් ආලෝකය මඟින් මවා තිබීම. මේ පිළිබඳ දේව දූත මුහම්මද්තුමාණන් මෙසේ පවසා ඇත. “මලාඉකාවරු ආලෝකය මඟින් මවනු ලැබූහ.” (මූලාශ්‍රය: මුස්ලිම් - 2996)
٣
ඔවුනට පියාපත් තිබීම. මලාඉකාවරුන්ගෙන් එක් එක් අයට විවිධ ගණනින් යුත් පියාපත් ඇති බවට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ප්‍රකාශ කොට ඇත. ඒ පිළිබඳ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් වේ. “අහස් හා මහපොළොව නිර්මාණය කළා වූ ද, පියාපත් දෙක බැගින් ද, තුන බැගින් ද, සතර බැගින් ද වූ මලාඉකාවරුන් ව දූතයන් ලෙස පත් කළා වූ ද උත්තරීතර අල්ලාහ්ට ම සියලු පැසසුම් හිමි ය. මැවීම්හි, උන්වහන්සේ තම අභිමතය පරිදි (තමන්ට අභිමත දෑ) අධික කරත. නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය.” (සූරා ෆාතිර් - 01)

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් මලඉකාවරුන්ට විවිධ කාර්යයන් පවරා දී ඇත. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

١
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ වහී හෙවත් දේව හෙළිදරව් උන්වහන්සේගේ ධර්ම දූතයින් වෙත රැගෙන යාම. මෙම කාර්යය පැවරී ඇත්තේ ජිබ්රීල්තුමාණන්ට ය.
٢
ප්‍රාණය අත්පත් කරගැනීම. මෙම කාර්යය පැවරී ඇත්තේ මලාඉකාවරුන්ගෙන් "මලකුල් මව්ත්" යන පිරිසට ය.
٣
මිනිසුන්ගේ යහපත් හා අයහපත් සියලු කටයුතු සටහන් කරගැනීම හා ආරක්ෂා කිරීම. මෙම කාර්යය පැවරී ඇත්තේ මලාඉකාවරුන්ගෙන් "අල්කිරාමුල් කාතිබූන්" (ගෞරවණීය සටහන් කරන්නන්) වෙත ය.

යම් පුද්ගලයෙකු, නිශ්චිත ව ම මරණයට පත් වේ යැයි සිතෙන, ඉතා මාරාන්තික අනතුරකින් දිවි බේරා ගත් බවට ආරංචි වුවහොත්, බොහෝ විට අපි පුදුමයට පත් වෙමු. නමුත්, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අණ පරිදි මිනිසුන් ව එවැනි අනතුරුවලින් මරණයට පත් නො වී බේරා ගැනීම ද මලාක්වරුන්ට පැවරී ඇති කාර්යයන්ගෙන් එකක් බව අප අමතක නො කළ යුතු ය.

මලක්වරුන් පිළිබඳ විශ්වාස කිරීම මඟින් මුඃමීන්වරයෙකුට බොහෝමයක් ප්‍රයෝජන අත් වේ. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

١
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ ඉමහත් භාවය, අසහාය ශක්තිය හා පරිපූර්ණ හැකියාව පිළිබඳ අවබෝධ කරගැනීමට හැකි වීම. මලාඉකාවරුන්ගේ ඉමහත් භාවයෙන් හැඟවෙන්නේ ඔවුන්ගේ මැවුම්කරුවාණන්ගේ ඉමහත් භාවය හා ශ්‍රේෂඨත්වය යි. මලඉකාවරුන් ව ආලෝකයෙන් හා පියාපත්වලින් සමන්විත ලෙස මැවීම මඟින් මුඃමීන්වරයෙක් උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හට අධික වශයෙන් ගෞරව කිරීමටත් උන්වහන්සේ ඇගයීමටත් පෙළඹේ.
٢
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට අවනත ව කටයුතු කිරීමේ දී ස්ථාවරත්වයක් හා ධාර්මිකත්වයක් ඇති වීම. මන්ද කවරෙකු මලක්වරුන් තමන්ගේ සියලු කටයුතු සටහන් කරගන්නා බව විශ්වාස කරන්නේ ද ඔහු තුළ උත්තරීතර අල්ලාහ් කෙරෙහි බැතිමත් බවක් හා ගරු බියක් ඇති වේ. එනිසා, ඔහු තනිව සිටිය ද අන් අය සමඟ සිටිය ද උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට පිටුපා කටයුතු කිරීමට උත්සාහ නො කරයි.
٣
මේ මුළු මහත් විශ්වයේ ම පුරා ම උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට අවනත වෙමින් නිවැරදි ව හා අංග සම්පූර්ණ ව උන්වහන්සේ ව නමඳින මලාඉකාවරුන් දහස් ගණනක් තමන් සමඟ ම සිටිනා බවට මුඃමින්වරයෙකු විශ්වාස කිරීමෙන් මනසට මහත් අස්වැසිල්ලක් මෙන් ම සැනසුමක් ඇති වීම හා උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට අවනත ව කටයුතු කිරීමේ දී ඇති වන අපහසුතා ඉවසා සිටීමට පුරුදු වීම.
٤
මිනිසුන් ආරක්ෂා කිරීමට මලක්වරුන් නියම කිරීම මඟින් මිනිසුන් කෙරෙහි උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට ඇති උනන්දුව හා තැකීම වෙනුවෙන් උන්වහන්සේට ස්තූති කිරීමට පුරුදු වීම.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.